FAST NEWS

24×7 Around the Globe

විස්ස ගැන විශේෂ පක්ෂ නායක රැස්වීමක්

 

විශේෂ පක්ෂ නායක රැස්වීමක් මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා. ඒ, කථානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී හෙට පැවැත්වෙන විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවයි එම සාකච්ඡාවට  අදහස් දැක්වූ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සඳහන් කළේ.

නව මැතිවරණ ක්‍රමය ඇතුළත් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර, එමගින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 237 ක් ලෙස යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත් සුළු පක්ෂ පවසන්නේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 255 දක්වා ඉහළ දැමිය යුතු බවයි. එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දදායකයින්ට ඡන්ද පත්‍රිකා දෙකක් ලබාදිය යුතු බවටද මුස්ලිම් කොංග්‍රසය පසුගියදා යෝජනා කළා. මේ හේතුවෙන් 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මතවීම සම්බන්ධයෙන් දැන් මතුව ඇත්තේ අර්බුදයක්. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුලූ සුළු පක්ෂවල නායකයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද හමුවුණා.

එහිදී විසිවන සංශෝධනයෙන් සුළු ජාතීන්ට හානියක් සිදුවන්නේ නම් එය පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කරන බවට අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බවයි සාකච්ඡාවට එක්වූ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්  සඳහන් කළේ.