FAST NEWS

24×7 Around the Globe

එජාප සම්මේලනය 10 දා කැම්බල් පිටියේදී

සැප්තැම්බර් මස 06 වැනිදාට යෙදෙන එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පක්ෂ සම්මේලනය සැප්තැම්බර් මස 10 වැනිදා කොළඹ කැම්බල් පිටියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර පවතී.

පක්ෂ සම්මේලනය පිළිබඳ අදහස් දැක්වූ එජාප මහලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා කියා සිටියේ, මෙවර පැවැත්වෙන සම්මේලනය පිළිබඳ රටපුරා සිටින සියලු සංවිධායකයන් දැනුම්වත් කර තිබෙන අතර, ඒ අනුව ඔවුන්ගේ බල ප්‍රදේශවල සිටින පක්ෂ සාමාජිකයන් විශාල වශයෙන් මේ සඳහා සහභාගී වනු ඇති බවයි. තවද පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු, පළාත්සභා, පළාත්පාලන නියෝජිතයන් එක් වන මේ අවස්ථාවට විශේෂ ආරාධිතයා ලෙස ‍ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගීවීම ශ්‍රී ලාංකික දේශපාලනයේ නව ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් බව ද ප්‍රකාශ ක‍ළේ ය.

පසුගිය වසරේ ජනවාරි 08 වැනිදා ආරම්භ වූ සහයෝගී දේශපාලනය ඉදිරියට ගෙන යන අතරම පක්ෂයේ ඉදිරි වැඩපිළවෙළ ගැනද නව බලාපොරොත්තුවක් පාක්ෂිකයන්ට ලබාදෙන සම්මේලනයක් වනු ඇතැයි කී අමාත්‍යවරයා, මේ විශේෂ පක්ෂ සම්මේලනයට සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කර ඇති බවද ප්‍රකාශ කළේ ය.