FAST NEWS

24×7 Around the Globe

ජීවිත බිලිගන්නා හිස්වැසුම් ගැන හෙළි කරන්නැයි කියා ජනපතිට යතුරුපැදිකරුවන්ගෙන් ලිපියක්..

ජීවිත බිලිගන්නා හිස්වැසුම් මොනවාද යන්න සතිපතා ප්‍රසිද්ධ කරන්නැයි ශ්‍රී ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් ලිපියක් යොමු කර ඇත.

පසුගිය දින කීහිපයේදි යතුරුපැදි හිස්වැසුම් ගැන දැඩි කතාබහක් ඇති වීමත් සමග ශ්‍රී ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සංගමයක් වශයෙන් 2015 සිට යතුරුපැදිකරුවන්ගේ හිස්වැසුම්වල ආරක්ෂාව ගැන කතා බහට ලක් කළ බවත් ‘ෆුල් ෆේස්’ හිස්වැසුම් තහනම් කිරීමට දැරූ උත්සාහයත් සමගින් එය ඉහළ ගිය බවත් එම සංගමය පෙන්වා දී තිබේ.

යතුරුපැදිකරුවන්ගේ සංගම්ය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති පරිදි මෙසේ ය.

“මේ වන විට රටේ ඇති තත්ත්වය ඉතාමත් බරපතල ය. බොහෝ යතුරුපැදිකරුවන් අද හිස්වැසුමක් පලදින්නේ තමන්ව ආරක්ෂා කර ගැනීමට නොව, පොලිසියෙන් බේරීමට ය. කලක සිට පවත්නා අප රටේ දුර්වලයන්ට කෝටුවලින් තලනා ප්‍රායෝගික නොවන අධ්‍යාපන ක්‍රමයේ විශාල දුර්වලතා මෙයට හේතු වී ඇත.

තම ජීවිතයට ආදරය කරනා සුලු පිරිස නිසි හිස්වැසුමක් ලබා ගත්තද වෙළඳපොළේ ඇති හිස්වැසුම් බොහෝමයක් ප්‍රමිතියෙන් තොර වීම ඉතාමත් දූෂිත තත්ත්වයක් ය.

2014දී යතුරුපැදිකරුවන් 457දෙනකු මිය ගියේ හිස්වැසුමක් පැළඳ සිටියදී හිසට හානි සිදු වීමෙන්ය. නමුත් ෆුල් ෆේස් හිස්වැසුම් පැළඳ සිටියදී කිසිවෙක් හිසට හානියක් සිදු වී මියගොස් තිබුනේ නැත.

පසුගිය සතියේදී හිස්වැසුම් ප්‍රමිතියට ලක්කිරීම අනිවාර්ය කළද, එමගින් දැනට භාවිතා වන හිස්වැසුම් මිලියන 06ක ප්‍රමිතියන් හෝ ආරක්ෂාව ගැන ජනතාවට දැන ගැනීමට හැකියාවක් නොමැත.

ඇතැම් හිස්වැසුම් වර්ග ලංකාවේ ප්‍රමිතියන් ඉක්මවා සාදා ඇත. එමනිසා සියලුම හිස්වැසුම් ප්‍රමිතියෙන් තොර යැයි කීමට හැකියාවක් නැත. මෙම නිසා මින් ඉදිරියට සිදු වන යතුරුපැදි අනතුරකදී යතුරුපැදිකරු හිස් වැසුම නිසි ආකාරයෙන් පැළඳ සිටියදී හිසට හානියක් සිදු වී ඇත්නම් එම හිස්වැසුමේ ජාතිය, වර්ගය, ගැටුණු වේගය, යතුරුපැදි වර්ගය වැනි කරුණු රථවාහන නියෝජ්‍ය පොලිස්පති හරහා සතිපතා ප්‍රසිද්ධ කරන ලෙස අප සංගමය ඉල්ලා සිටිමී.

එවැනි ප්‍රතිපත්තියක් තුළින් ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් මොනවාද යන්න ජනතාවට දැන ගැනීමට හැකි වීමෙන් ඉදිරීයේදී සිදු විය හැකි විශාල ජීවිත හානි ප්‍රමාණයක් වළක්වා ගැනීමට හැකි වන අතර ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් හා ජීවිත බිලිගන්නා දුෂිත ව්‍යාපාර රට තුළ කිසි දිනක හිස ඔසවන්නට ඉඩක් හමුවන්නේ නැත.” යැයි එම එම ලිපියේ සඳහන් ය.