FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති මහින්ද අද මැලේසියාවට

මැලේසියාවේදී පැවැත්වෙන ආසියානු දේශපාලන පක්‍ෂ ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (31 දා) දිවයිනෙන් පිටත්ව යයි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ මෙම මැලේසියානු සංචාරයට විරෝධය පළකරමින් එය වැළැක්‌වීමට එරට වෙසෙන දෙමළ ඩයස්‌පෝරාව උත්සහ කර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව වෙනුවෙන් එරට රජය විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්‌ ද යොදා ඇත.

සැප්තැම්බර් 2 සහ 3 යන දිනවල පැවැත්වෙන සමුළුවේ සමාරම්භක උත්සවයේ විශේෂ දේශනයක්‌ සඳහා ලැබුණු ඇරයුමකට අනුව හිටපු ජනාධිපතිවරයා මැලේසියාව බලා පිටත්ව යයි.

මෙම සමුළුව මීට පෙර ශ්‍රී ලංකාවේ පැවැති අවස්‌ථාවේදී එහි සභාපතිත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් දැරූ අතර මෙවර එහි සභාපතිත්වය මැලේසියානු අග්‍රාමාත්‍යවරයාට පිරිනැමෙනු ඇත.

මෙම සංචාරයේදී මහින්ද රාජපක්‍ෂ මහතා මැලේසියානු අග්‍රාමාත්‍යවරයා හමුවීමට ද නියමිතය. මෙයට අමතරව ඒ මහතා එම සමුළුවට සහභාගි වීමට පැමිණෙන ආසියානු රටවල දේශපාලන පක්‍ෂ නායකයන් ද හමුවීමට නියමිත අතර චීන කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ විශේෂ නියෝජිත පිරිසකගේ හමුවකටද සහභාගි වේ.

හිටපු ජනාධිපතිවරයාගේ මෙම සිව් දින සංචාරයේදී ක්‌වාලාලම්පූර්හි පිහිටි බෞද්ධ විහාරස්‌ථානයේ පැවැත්වෙන විශේෂ ආගමික උත්සවයකටත්, මැලේසියානු බැංකු සංගමයේ විශේෂ හමුවකටත් එක්‌වීමට නියමිතය.

මෙම සංචාරයට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මහජන එක්‌සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, ලොහාන් රත්වත්තේ යන මහත්වරු ද සහභාගි වෙති.