මාදුළුවාවේ සෝභිත හිමි 20 ඉවත් කරන්නැයි කියයි.

මාදුළුවාවේ සෝභිත හිමි 20 ඉවත් කරන්නැයි කියයි.

 

සුළු පක්ෂවල අදහස් නොතකා ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධන ගැසට් පත්‍රය වහා ඉවත් කර ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.සෝභිත හිමියන් එම අදහස් පළ කළේ පෙරේදා (20) කෝට්ටේ නාග විහාරයේදී සුළු පක්ෂ නියෝජිතයින් හමුවූ අවස්ථාවේදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සෝභිත හිමියන් කියා සිටියේ පවතින පාර්ලිමේන්තුව තුළ 20 වැනි සංශෝධනය නිසි පරිදි සම්මත කරගත නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට ගොස් නව ස්ථාවර ආණ්ඩුවක් යටතේ මෙය සම්මත කර ගත යුතු බවයි.

විසිවන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේදී සුළු පක්ෂවල අදහස් සැලකිල්ලට ගත යුතු අතර ගැසට් කර ඇත්තේ සුළු ජාතික පක්ෂවල එකඟතාවෙන් හැදූ විස්සක් නොවන බවද උන්වහන්සේ කීහ.

ඒ අනුව දැනට නිකුත් කර ඇති විස්සේ ගැසට් නිවේදනය වෙනුවට සුළු පක්ෂවල අදහස් ඇතුළත් අලුත් විස්සක් ගැසට් කරන ලෙස වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ සඳහන් කළහ.

විවිධ අයගේ කකුල් මාට්ටු නිසා 19 හරියාකාරව සම්මත කර ගැනීමට නොහැකි වූ බවත් 20ටද එම ඉරණම අත්වීම වැළැක්විය යුතු බවත් සෝභිත හිමියෝ පෙන්වා දුන්හ.

ඡන්ද පත්‍රිකා දෙක පිළිබඳ යෝජනාව ඇතුළුව සුළු පක්ෂවල ඉල්ලීම්වලට ආණ්ඩුව අවධානය යොමු කළ යුතු බවද ඒ හිමියෝ වැඩිදුරටත් පෙන්වා දුන්හ.