රාජීත – අලගියවන්න හොර රහසේ බැසිල් හමුවෙති.

රාජීත – අලගියවන්න හොර රහසේ බැසිල් හමුවෙති.

 

පසුගිය රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ වත්මන්ව රජයේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

ග්‍රාමිය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී ඇති මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ පෙරේදා (20දා) සවසය. මෙම සාකච්ඡාව පැය 02කට අධික කාලයක් පුරා පැවැතී ඇතැයිද වාර්තා වෙයි.

බැසිල් රාජපක්ෂ මහතා නේවාසිකව ප්‍රතිකාර ලබන කොල්ලුපිටියේ පිහිටි ඩර්ඩන්ස් පෞද්ගලික රෝහලේ 08 වැනි තට්ටුවේ ඇති 807 කාමරය තුළදී මෙම සාකච්ඡාව සවස 6.00ට පමණ ආරම්භ කර රාත්‍රී 9.00 ආසන්න කාලය දක්වා පැවැත්වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ පෙරවරුවේ එම පෞද්ගලික රෝහලට බැසිල් රාජපක්ෂ මහතා රැගෙන විත් තිබුණි.

ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධව මෙහිදි දීර්ඝව සාකච්ඡා කර ඇති බවත්, මහ මැතිවරණයේදී කෙසේ කටයුතු කරන්නේදැයි බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසා ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ප්‍රසිද්ධියේ දේශපාලන වේදිකාවට ගොඩ නොවී තිරය පිටුපස සිට දේශපාලන කටයුතු කිරීමට බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවයි.

2005 ජනාධිපතිවරණය පැවති සමයේදී තිරය පිටුපස සිට භූමිකාවක් ඉටුකළ පරිද්දෙන් මෙවරද ඒ මහතා කටයුතු කරනු ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳව කළ විමසීමකදී පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,

‘මම එතුමාව බලන්න ගිහින් ඉද්දි රාජිත ඇමතිතුමාත් ආවා. අපි සුවදුක් විමසුවා පමණයි. දේශපාලනය ගැන කතා කළේ නෑ. එතුමා ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු විදියට අතීත සිදුවීම් පිළිබඳ අප සමග කතා කළා’ යනුවෙන් පවසා සිටියේ.