මහ මැතිවරණය පැරණි ඡන්ද ක්‍රමයට – විස්ස පස්සට.

මහ මැතිවරණය පැරණි ඡන්ද ක්‍රමයට – විස්ස පස්සට.

 

එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය පැරණි ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වීමට රජය තීරණය කර ඇත.

මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව 20 වන ආණ්ඩු ක්‍රම සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

විසිවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 237ක් විය යුතු බවට අවසන් තීරණයකට පැමිණිය ද සුළු පක්ෂවල ඉල්ලීම වූයේ එය 255 දක්වා වැඩිකිරීම බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එසේ වුවද පෙරේදා (17) එය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා කඩිනමින් ඉදිරිපත් කිරීමට නියමිත බවත් කියයි. කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා සති දෙකක කාලයක් ලබා දෙන බව ද පවසන ඇමැතිවරයා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉදිරිපත් කිරීමෙන් පසුව බවත් සඳහන් කරයි.

රජය පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නේ 20 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසුව යැයි පවසන ඇමැතිවරයා, මැතිවරණය පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඉන්පසු තීරණයක් ගත හැකි බව ද පවසයි.

ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (18) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.

පාර්ලිමේන්තුව ලබන 24 වැනිදා විසුරුවා හරින බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවැසුවේ ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් තමන් සමඟ කිසිවක් ප්‍රකාශ කර නොමැති බවයි.