ශ්‍රීලනිප සය පුද්ගල කමිටුව මහින්දව ඉල්ලයි.

ශ්‍රීලනිප සය පුද්ගල කමිටුව මහින්දව ඉල්ලයි.

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයේදී අනිවාර්යෙන්ම ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා කළ යුතු බවට ශ්‍රීලනිප සය පුද්ගල කමිටුව එකඟතාවකට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඊට අදාළ යෝජනාව ඊයේ (17) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කොට ජනාධිපතිවරයා සමග ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි.

එක්සත් ජාතික පක්ෂය පරාජය කොට ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු යැයි සය පුද්ගල කමිටුව යෝජනා කර ඇත.

මීට අදාළ සය පුද්ගල සාකච්ඡාව ශ්‍රීලනිප ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනෙවිරත්න මහතාගේ කොළඹ පිහිටි නිවසේදී පෙරේදා රාත්‍රී 8.30 සිට රාත්‍රී 1.00 පමණ දක්වා පවත්වා ඇත.

එහිදී ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයේ වර්තමාන දේශපාලන තත්ත්වය, මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා කළහොත් ඇති වන තත්ත්වය හා අගමැති අපේක්ෂකයා නොකොළොත් ඇති වන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතුය යන සය පුද්ගල කමිටුවේ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහස විමසීම සඳහා ඊයේ (17) රාත්‍රියේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත විය.

ජනාධිපතිවරයා සමග මෙන්ම අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඉදිරි දිනයකදී සාකච්ඡාවක් පවත්වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බි. ඒකනායක මහතා පැවැසීය.