20 වන සංශෝධන කෙටුම්පත සතියකින් පාර්ලිමේන්තුවට.

20 වන සංශෝධන කෙටුම්පත සතියකින් පාර්ලිමේන්තුවට.

ගැසට් නිවේදනයක් මගින් ඊයේ ප‍්‍රකාශයට පත් කෙරුණු 20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතක් ලෙස සතියක කාලයකින් පසු පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කෙරෙනවා.

ඉන්පසු එය විවාදයට ගත හැකි බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනක හරන්කහ මහතා පවසන්නේ.

අනතුරුව ඕනෑම පුරවැසියෙකුට අදාළ සංශෝධනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අදාළ ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළහොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් එය සම්මත කරගත හැකි බවද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනක හරන්කහ මහතා පෙන්වා දුන්නා.

මේ අතර 20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරුන් 237 දෙනෙකු තෝරාපත් කරගැනීමට යෝජනා කර තිබෙනවා. ඉන් 145 දෙනෙකු ඡන්ද කොට්ඨාස මට්ටමින් ද තවත් 55 දෙනෙකු සමානුපාතික ක‍්‍රමයෙන් ද තෝරාපත් කර ගැනෙනවා. ඉතිරි 37 දෙනා තෝරා ගැනෙන්නේ ජාතික ලැයිස්තුවෙන්.

මනාප ක‍්‍රමය අහෝසි වී කොට්ඨාස හා සමානුපාතික ක‍්‍රමයට මන්ත‍්‍රීවරුන් තෝරාපත් කරගැනීම මෙහිදී සිදුවන ප‍්‍රධාන වෙනසයි. නව ක‍්‍රමය යටතේ ඡන්ද කොට්ඨාස නිර්ණය කිරීම සිදුකළ යුතුව තිබෙනවා.

එමෙන්ම නව මැතිවරණ ක‍්‍රමය යටතේ බහු මන්ත‍්‍රී ආසන ක‍්‍රමය යළි ඇති කෙරෙන බවද 20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දැක්වෙනවා.