FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2204ක දී ආරම්භ වේ.

අ.‍පො.ස. උසස් පෙළ විභාගය අද (02) පෙරවරු 8.30ට දිවයින පුරා මධ්‍යස්ථාන 2204ක දී ආරම්භ විය.

මෙවර විභාගය සඳහා සමස්ත අයැදුම්කරුවන් තුන්ලක්ෂ පහළොස්දහස් හයසිය පස්දෙනකු ඉදිරිපත්ව සිටින අතර ඉන් දෙලක්ෂ හතළිස්දාස් නවසිය අනූඑක් දෙනෙක් පාසල් අයැදුම්කරුවෝය.

ඒ අතර හැත්තෑ හතර දහස් හයසිය දාහතර දෙනකු පෞද්ගලික අයැදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවර විභාග කටයුතු සඳහා කාර්ය මණ්ඩලය 27,500ක් සේවය සඳහා යොදවා ඇත. විභාගය ලබන 27 දක්වා පැවැත්වේ.

මේ අතර අද ආරම්භ වන විභාගයේ දී යම් විභාග අයැදුම්කරුවකු විභාග වංචාවක් කළහොත් විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන සියලුම විභාග වසර පහක් තහනම් කිරීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා ඊයේ (01) පැවසීය.

ස්මාට් අත් ඔරලෝසු, ජංගම දුරකථන, විද්‍යුත් උපකරණ හරහා විභාග වංචා සිදු කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට විශේෂ අවධානය යොමු කරන ලෙස විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.