මහ මැතිවරණයක් ඉල්ලා එජාපයෙන් ජනබල මෙහෙයුමක්.

මහ මැතිවරණයක් ඉල්ලා එජාපයෙන් ජනබල මෙහෙයුමක්.

මහ මැතිවරණයක් කැඳවන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමෙන් පසුවත් මහ මැතිවරණයක් නොකැඳවුවහොත් මහ මැතිවරණයක් ඉල්ලා ජනබල මෙහෙයුමක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර ඇත. මහ මැතිවරණයක් අපේක්ෂාවෙන් ජනතාව පෙළගැස්වීමේ අරමුණ පෙරදැරිව මෙම කටයුත්ත ආරම්භ කිරීමට පක්ෂය කටයුතු යොදා තිබේ.

මීට අමතරව මහ මැතිවරණයක් ඉල්ලා සිටින ජනාධිපතිවරණයේදී හංසයාට සෘජුව හා වක්‍රව සහය දැක්වූ පක්ෂද මේ සඳහා සම්බන්ධ කර ගැනීමට එ.ජා.ප.ය කටයුතු යොදා ඇත. ජනබල මෙහෙයුමට අමතරව මහ මැතිවරණය ඉල්ලා ප්‍රධාන නගරවල උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමටද එ.ජා.ප.ය ප්‍රමුඛ දේශපාලන පක්ෂවල සාකච්ඡා ආරම්භ වී තිබෙන බව එම පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවැසීය.

ජනතා විමුක්ති පෙරමුණද මහ මැතිවරණයක් ඉල්ලා ජනතාව පෙළ ගැස්සවීමේ වැඩසටහනක් වෙනම ක්‍රියාත්මක කිරීමටද කටයුතු යොදා ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.