මුදල් අමාත්‍යාංශය මඟින් නිකුත් කරනු ලැබූ ‘වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව වාර්තාව – 2016’ට අනුව වසරේ මුල් මාස 4 තුළ ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසරට සාපේක්‍ෂව රුපියල් මිලියන 5,781ක මෙහෙයුම් අලාභයක් ලබා ඇතැයි ‘දූෂණ විරෝධී පෙරමුණේ’ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
2015 වසරේදී කිලෝවෝට් පැය එකක විදුලි බලයක් උත්පාදනය සඳහා වැය වූ රු. 15.07ක මුදල 2016දී රු. 17.54 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව එක් විදුලි ඒකකයක් සඳහා රටට සිදුව ඇති පාඩුව රු. 2.41ක් බවද තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
දූෂණ විරෝධී පෙරමුණ මඟින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයේ මෙසේද සඳහන් වේ.
රාජ්‍ය මූල්‍ය තත්ත්ව වාර්තාවට අනුව 2015 මුල් මාස 4 තුළ විදුලිබල මණ්ඩලය රු. මිලියන 1,837ක ලාභයක් ලබා ඇත. 2016 පළමු කාර්තුවේ විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් අලාභය රුපියල් මිලියන 5,781කි.
ඒ අනුව මිලියන 50ක් වූ ලංකාවේ විදුලි පාරිභෝගිකයන්ගෙන් එක් අයකු රුපියල් 115.60ක මුදලක් වසරේ පළමු මාස හතර තුළ පමණක් දැරීමට සිදුවිය.
වසරේ ඉදිරි කාර්තු 2 සඳහා ඉහත පාඩුවම දැරීමට මණ්ඩලයට සිදුවන්නේ නම් එක් විදුලි පාරිභෝගිකයකු වෙනුවෙන් රජයට සිදුවන අලාභය රු. 347.40කි. මෙම මුදල සෘජුව හෝ වක්‍රව නැවත අය කර ගනු ලබන්නේද විදුලි පාරිභෝගිකයන්ගෙන් හෝ ජනතාව වෙත පටවන බදු මුදලිනි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හා නියෝජ්‍ය අමාත්‍යවරයා ජනමාධ්‍ය ඔස්සේ ‘අපිට ලාභයි’ කීවද, ජනපති, අගමැති, කැබිනට්ටුවට පමණක් නොව පාර්ලිමේන්තුවටද ‘අපිට ලාභයි’ කීවද, මුදල් අමාත්‍යාංශය ‘වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව වාර්තාව – 2016’ මඟින් පෙන්වා දෙන්නේ ගල් අඟුරු මාෆියාව ප්‍රමුඛ විදුලිබල මණ්ඩලයේ නිලධාරි නඩය සතෙන් සතේ මේ රටේ විදුලි පාරිභෝගිකයන් ලක්‍ෂ 50ක පොකට්ටුවට තට්ටු කිරීමට ආසන්න බවයි.
වත්මන් රජය යටතේ සිදුකළ දැවැන්තම ටෙන්ඩර් මගඩිය යට ගසා ගැනීමට උත්සාහ දරමින් සිටින විදුලි මාෆියාව තම ක්‍රියාමාර්ග තුළින් තවදුරටත් මඩගොහොරුවක ගිලෙමින් සිටී. වසරේ පළමු මාස හතර තුළ විදුලි ඒකකයක් උත්පාදනය සඳහා පසුගිය වසරට වඩා රු. 2.47ක මුදලක් වැය කරන විදුලිබල මණ්ඩලයට එහි පාඩුව පියවා ගැනීමට සිදුවන්නේ විදුලි බිල වැඩි කිරීම මඟිනි.