මෛත්‍රී – මහින්ද එකමුතුවට සය පුද්ගල කමිටුවක්.

මෛත්‍රී – මහින්ද එකමුතුවට සය පුද්ගල කමිටුවක්.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකමුතුකම රැක ගනිමින් පක්ෂ නායකයන් අතර සුහදත්වය වර්ධනය කොට සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා සය පුද්ගල විශේෂ කමිටුවක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ (16) රැස්වූ ශ්‍රීලනිප නියෝජිත සමුළුව පත් කර ගනු ලැබිය.

ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප මහ ‍ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රීලනිප ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනෙවිරත්න, ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා, ශ්‍රීලනිපයේ උප සභාපති කුමාර වෙල්ගම, ටී.බි. ඒකනායක මන්ත්‍රීවරු මෙම කමිටුවට අයත්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙම නියෝජිත හමුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රීලනිප පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්, පළාත් සභා හා පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා ශ්‍රීලනිප අනුබද්ධ සංවිධාන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැතිවිණි.

මෛත්‍රී-මහින්ද ආණ්ඩුවක් හදන්න තීන්දු කරමින් මෙම කමිටුව පත් කළ බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
ඒ අනුව ඉදිරි දින කිහිපයේදී මෙම කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් මුණගැසීමට නියමිත බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම රැස්වීම පෙරවරු 11.00ට ආරම්භ වීමට නියමිතව තිබූ අතර ජනාධිපතිවරයාගේ පැමිණීමෙන් පසු දහවල් 12.00ට එය ආරම්භ විය. එහිදී නියෝජිත හමුව ආරම්භ කරමින් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, එක එක තැන්වල කකුල් තියාගෙන නොසිට පක්ෂයක් ලෙස කටයුතු කළහොත් පමණක් ඉදිරි මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයගත හැකි බවත් පක්ෂය බෙදුනු සෑම වේලාවකම පරාජය ලැබූ බවත් ඉතිහාස කරුණු ගෙනහැරපාමින් අදහස් දැක්වීය.

තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ගමන් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට ගියා නම් එක්සත් ජාතික පක්ෂයට පහසුවෙන් ජයගත හැකිව තිබූ නිසා තමන් එසේ නොකළ බව එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රීලනිප උප සභාපති කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසක් තබාගෙන විශ්වාසභංග යෝජනා තුනක් ගෙනාවද ඒවා සම්මත කර ගැනීමට නොහැකි වීම මත පිටකොන්දක් තබාගෙන පාර්ලිමේන්තුවේ සිටිය නොහැකි බවත් අද පාර්ලිමේන්තුවට පැමිණීම විහිළුවක් වී ඇති බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය රඳා පවතින්නේ පක්ෂය මත නොව පුද්ගලයා මත බවත් ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා සමග පක්ෂය මේ ගමන යා යුතු බවත් සඳහන් කළේය.

“මිනිස්සු ඉල්ලන්නේ මහින්ද මහත්තයා. එතුමා ගෙනාවොත් අපිට දිනන්න පුළුවන්.” යැයි කීවේය.

එම යෝජනාවට කිසිවකු විරුද්ධ නොවූ අතර සියලු දෙනා අත්‍පොළොසන් දෙන්නට වූහ.

මෙහිදී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා අවධාරණය කළේ, මේ වෙලාවේ මාර්කට් කරන්න පුළුවන් හොඳම භාණ්ඩේ මහින්ද රාජපක්ෂ මහත්තයයි. වෙන කිසිම දෙයක් නෑ. අපි කැමැති වුණත් අකැමැති වුණත් මිනිස්සු ඉල්ලන දේ තමයි අපි දෙන්න ඕන. මහින්ද මහත්තයාගේ නොවේ නම් එන්න එපා කියලා ගමේ කියනවා. ඉතින් මහින්ද මහත්තයා නැතිව අපි කොහොමද ජනාධිපතිතුමා දේශපාලනය කරන්නේ. මේ වෙලාවේ හොඳම මාර්කට් භාණ්ඩය මහින්ද රාජපක්ෂ මහත්තයා. අපි කැමැති වුණත් අකැමැති වුණත් එයයි සත්‍යය. ඒ නිසා සියලු දේ අමතක කොට එක්කාහු වෙන්න.” යැයි සඳහන් කළේය.

ඊට අමතරව ධනසිරි අමරතුංග මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාද මේ බව අවධාරණය කරමින් අදහස් දැක්වූහ.

එමෙන්ම මෙම රැස්වීමේදී කොටිකාවත්ත – මුල්‍ලේරියාව ප්‍රාදේශී්‍ය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා අදහස් දැක්වීමට පටන් ගත්තේය. ඔහු එහිදී සඳහන් කළේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැතිකම දුන්නා නම් මේ කිසි ප්‍රශ්නයක් ඇති නොවන බවයි.

“ඒ අය මේ ගැන එදා කල්පනා කරන්න තිබුණා. මෙහෙම ගියොත් තව මොන දේවල් වෙයිද දන්නෙ නෑ.” යනුවෙන්ද තවදුරටත් සෝලංගආරච්චි මහතා අදහස් දක්වන්නට වුවද එහිදී ඔහුට සභාවෙන් දැඩි විරෝධයක් එල්ල විය. මෙම විරෝධය පළ කළ පිරිස අතරින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැඩි විරෝධයක් එල්ල කළ අතර මේ අවස්ථාවේදී පිරිසක් සෝලංග ආරච්චි මහතාට හූ කියන්නට ද වූහ.

මේ අතර පළාත් සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ද අදහස් පළ කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී සභාවෙන් එල්ල වූයේ ද දැඩි විරෝධයකි.

ලක්ෂ්මන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයාද මෙම හමුවේදී 20 වැනි සංශෝධනය පිළිබඳව අදහස් දැක්වූ අතර ඔහුටද සභාවෙන් දැඩි විරෝධයක් එල්ල විය.

මෙම රැස්වීම අවසානයෙහි ජනාධිපතිවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ පක්ෂයේ සමගිය සඳහා පත් කළ කමිටුව හැකි ඉක්මනින් වාර්තාවක් ලබා දෙන ලෙසයි. ඉක්මනින් මැතිවරණයකට යාමේ අවශ්‍යතාව පිළිබඳව එජාපයත් පාර්ලිමේන්තුවත් කථානායකවරයාත් පෙන්වා දී ඇති නිසා මෙම කමිටුව ඉක්මනින්ම රැස්වී අදාළ වාර්තාව කඩිනමින් සකසන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. ඒ අනුව මෙම කමිටුව ඊයේ රාත්‍රී 8.00ට ජෝන් සෙනෙවිරත්න මහතාගේ කොළඹ නිවසේදී රැස්විය.