FAST NEWS

24×7 Around the Globe

ජපාන අධිරාජ්‍යයා වන අකිහිතෝ එම තනතුරෙන් ඉවත් නොවන බව කියයි.

ජපාන අධිරාජ්‍යයා වන අකිහිතෝ එම තනතුරෙන් ඉවත් නොවන බව එරට රජ මාලිගාව නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇතැයි නවතම වාර්තාවක් සඳහන් කර තිබේ. මෙම නිවේදනය රජ වාසල බලධාරීන් විසින් නිකුත් කිරීමට පියවර ගෙන ඇත්තේ පැය 15කට පමණ පෙර විදෙස් වාර්තාවන් අධිරාජ්‍යයා තනතුරෙන් ඉවත් වීමට සැලසුම් කර ඇතැයි ප්‍රචාරය කිරීම හේතුවෙනි.

අසූ දෙහැවිරිදි අධිරාජ්‍යයා එම තනතුරෙන් ඉවත් වී ඔහුගේ පුත්‍රයාට තනතුර හිමිකර දීමට සූදානමින් සිටින බව ප්‍රථමයෙන් ප්‍රකාශයට පත්කර ඇත්තේ එරට ප්‍රධානතම මාධ්‍ය නාළිකාව වන එන්.එච්.කේ. රූපවාහිනියයි.

මෙම ප්‍රවෘත්තිය ප්‍රචාරය වීමත් සමග එරට ජනතාව ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්වීම හේතුවෙන් රජ වාසල බලධාරීන් එම ප්‍රවෘත්තිය සත්‍ය නොවන බව පෙන්වා දීම සඳහා නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

මෙසේ තනතුරු අත්හැර දැමීමක් එරට ඉතිහාසයේ වසර 200ක පමණ කාලයක් තුළ වාර්තා වී නොමැත. මෙවන් ප්‍රවෘත්තියක් පළ කිරීමට පෙර මාධ්‍ය ආයතන කරුණු නිසි ලෙස හැදෑරීමකින් පසුව කළ යුතු බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.