උතුරු – නැගෙනහිර සන්නද්ධ කණ්ඩායම් විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කරවන ලද අය පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරන ජනාධිපති කොමිසම, හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු නැගෙනහිර පළාත් නායක කරුණා අම්මාන් හෙවත් විනයාග මූර්ති මුරලිදරන් මහතා ගෙන්වා ප්‍රශ්න කිරීමට නියමිතය.
1990 වසරේ නැඟෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් 600 දෙනෙකු ඝාතනයට ලක්වීම පිළිබඳ කරුණා අම්මාන් මහතාට චෝදනා එල්ල වී ඇත.
අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පස් දෙනෙකුගෙන් සමන්විත කොමිසමක් පත්කර ඇති අතර එම කොමිසම විසින් මේ වන විට සිය විමර්ශන ආරම්භ කර ඇත.
මෙම කොමිසමේ කටයුතු ආරම්භ කිරීමත් සමඟම යුද සමයේ ක්‍රියාත්මක වූ සන්නද්ධ සංවිධාන විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලද පුද්ගලයින් පිළිබඳ පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇති අතර ඒ හා සමානව 1990 වසරේ අම්පාර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරින් 600ක් අතුරුදන් වීම පිළිබඳ පැමිණිලි ලැබී ඇත.
මෙම ඝාතන වලට හිටපු අමාත්‍ය කරුණා අම්මාන් මහතා සම්බන්ධ බවට කරුණු දක්වමින්, 1990 දී අම්පාර ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් 600 දෙනෙකු ඝාතනය කිරීම පිළිබඳ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
උගත් පාඩම් හා ප්රතිසංවිධාන කොමිසමේ විමර්ශනවල දී ද කරුණා අම්මාන් හෙවත් විනයාග මූර්ති මුරලිදරන් මහතාට චෝදනා එල්ල වී තිබුණු අතර එම චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා කරන්නයි ඉල්ලමින් පසුගියදා මාතර පැවති ජනරැලියට කරුණා අම්මාන් මහතාද සහභාගී වී සිටියේය.







