බස්නාහිර – දකුණු මුහුදේ දිය නෑම අවදානම්.

බස්නාහිර – දකුණු මුහුදේ දිය නෑම අවදානම්.

 

බස්නාහිර හා දකුණු ගැඹුරු – නොගැඹුරු මුහුද ආශ්‍රිතව ජෙලි ෆිෂ් ජීවී විශේෂය බහුල වීම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව නෑම සහ සංචාරය සඳහා යන පුද්ගලයන් පරිස්සම් විය යුතු බව පරිසරය පිළිබඳ නීතිවේදී ජගත් ගුණවර්ධන මහතා අනතුරු අඟවයි.

එසේම ජෙලි ෆිෂ් මත්ස්‍ය විශේෂය ශරීරයේ ස්පර්ශ වුවහොත් ඒ සඳහා හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යවශ්‍ය වන්නේ යැයිද ජගත් ගුණවර්ධන මහතා අදට පැවසීය.

පිසේලියා (physalia) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම මත්ස්‍ය විශේෂය වාර්ෂිකව මැයි සහ අගෝස්තු අතර, කාලයේදී නොගැඹුරු මුහුදේ මෙන්ම වෙරළාසන්න මුහුදේ ගැවසෙන අතර, මත්ස්‍යයාගේ ශරීර අන්තර්ගත විස මිනිස් සිරුරට බෙහෙවින් අහිතකර වේ.

ජෙලි ෆිෂ් ජීවියා ජනාවාස ජීවියෙකු වන අතර, ඌ මුහුදු මත ඉපිල්ලකින් පා වෙන මත්ස්‍ය‘යෙකි. විස සහිත දංශක කෝෂ්ඨ හෙවත් භූභාව සහිත ජීවින් මිනිස් සිරුරක ස්පර්ශ වූ සැණින් එහි කෙඳි සිරුරට ඇනී යාමට සකස් වී තිබේ. ජීවියාගේ වර්ණය නිල් පැහැති වීම හේතුවෙන් මුහුදේ පාවෙනු දැකීමද අසීරු වන අතර, මේ හේතුවෙන් මුහුදේ නෑම, රැල්ල පෑගීම හෝ සංචාරයේදී ප්‍ර‘වේසම් විය යුතු බවත්, හැකිනම් එම කටයුතුවලින් වැළකී සිටිය යුතු බවත් ජගත් ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

ජලයේ සිටින අවස්ථාවක ජෙල් ෆිෂ් ජීවියෙකු ස්පර්ශ වූයේ නම් එවන් තැනැත්තකු ජලයේ නොරැඳී ගොඩබිමට පැමිණීම අනිවාර්ය වන බවත්, නොඑසේ නම් ඔහු ජෙලි ෆිෂ් ජීවියා ස්පර්ශ වීමේ කම්පනයෙන් ජලයේ ගිලී යාමට ඉඩකඩ වැඩි බවත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ජෙලි ෆිෂ් ජීවියෙකු ස්පර්ශ වූයේ නම් වහා ඇල්කොහොල් මුසු ද්‍රාවණයකින් එම ස්ථාන සෝදා කෙඳි පිස නොදමා ගලවා දැමිය යුතු අතර, නොපමවා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමු වීම අත්‍යවශ්‍ය බව ජගත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.