FAST NEWS

24×7 Around the Globe

ජනපති කතරගම පුද බිමේ ආගමික වතාවත්වල ..

ඓතිහාසික රුහුණුු කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍යයේ 6 වැනි පෙරහැර ඊයේ (10)රාත්‍රියේ  වීදි සංචාරය කෙරුණු අතර ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ද ඊයේ (10) පස්වරුවේ කතරගම පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

 ඊයේ පස්වරුවේ ඓතිහාසික කතරගම පුද බිම වෙත ගිය ජනාධිපතිතුමා කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක දම්මින්ද ස්වාමීන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා පිරිකර පූජා කළේය.

 අනතුරුව කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

 මහා සංඝරත්නය හමුවේ පංචශීල පිහිටුවා ගැනීමෙන් පසු කතරගම මහ දේවාල පරිශ්‍රයේ ඇති සෙසු දේවාලද වැද පුදාගත් ජනාධිපතිතුමා කතරගම දේවාල පරිශ්‍රය හා ඒ අවට ප්‍රදේශය විදුලි ආලෝකයෙන් ආලෝකමත් කළේය.

 අෂ්ට ඵල බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීම සහ පුරාණ කිරි විහාරයේ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව කතරගම මහා දේවාලයේ පැවති විශේෂ දේව පූජාවට සහභාගී වී  ආශිර්වාද ලබා ගත්තේය.

 අමාත්‍යවරුන් වන දයා ගමගේ, විජිත් විජයමුණි ද සොයිසා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, ඌව පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂ, හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර යන මහත්ම මහත්මීන් ද ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.