FAST NEWS

24×7 Around the Globe

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් හිලරීට චෝදනා.

ඇය රාජ්‍ය ‍ලේකම්වරිය ලෙස කටයුතු කරන කාලයේදී තම පුද්ගලික විද්‍යුත් තැපැල් ලිපිනය මගින් රාජකාරි ලිපි යැවීමෙන් ඇමෙරිකාවම අනතුරේ හෙලූ බව ඩිමොක්‍රටික් පක්ෂ ජනපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට චෝදනා කරමින් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කියා තිබේ.

මේ සම්බන්ධයෙන් හෙළිවූ පසුවද ඇයට විරුද්ධව අපරාධ නීතිය යටතේ ක්‍රියාත්මක වීමට එෆ්.බි.අයි. ආයතනය කටයුතු නොකිරීම තුළින් රටේ ආරක්ෂක පද්ධතියේ ඇති දුබලතා පෙනුණ බවද උතුරු කැරොලිනාවේ පිහිටි රැලියක් අමතමින් ට්‍රම්ප් කියා තිබිණි.

එම අවස්ථාවේදී එෆ්.බි.අයි. ආයතනයේ ප්‍රධානියා වන ජේම්ස් කෝනි කියා තිබුණේ මෙවැනි කටයුත්තක යෙදීමට තරම් ක්ලින්ටන් නොසැලකිලිමත් වී ඇති බව පිළිගත්තද ඇයට විරුද්ධව නීති මගින් කටයුතු කිරීමට සාක්ෂි නොමැති බවය.

ලබන නොවැම්බරයේ පවත්වන ඇමරිකානු ජනපතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙකකින් බොහෝ දුරට තරග වදින්නේ ට්‍රම්ප් හා හිලරි වන අතර මෙම මස අවසානයේදී පක්ෂ දෙකෙහි වාර්ෂික සමුළුවලදී ඔවුන්ගේ අපේක්ෂකත්වයන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ඇත.

රැස්වීමේදී වැඩිදුරටත් කතා කරමින් ට්‍රම්ප් කියා තිබුණේ පුද්ගලික ලිපිනය මගින් ලිපි යැවීමේදී ඊට ඇතුළුවීම ඕනෑම කෙනෙකුට පහසුවන බැවින් මෙතරම් උසස් නිලයක් දරද්දී මෙතරම් නොසැලකිලිමත් ලෙස කටයුතු කළ ක්ලින්ටන් ජනපති පදවියට කිසිසේත් සුදුසු නැති බවය.