ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත් කීර්තිමත් ආයතනයක් බවත් එහි අධිපතිවරයා එම ආයතනයේ විශ්වසනීයත්වය මෙන්ම, කීර්තිය උසස් බවට පත්කිරීමේ වගකීම දැරිය යුතු බව තමා විශ්වාස කරන බවත් නව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.
නව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙලෙස අදහස් දක්වා සිටියේ, අද (04) ජනාධිපතිවරයා අතින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්වීම් ලැබීමෙන් පසුව, ශ්‍රී ලංකා මහ බැංකුවේදී සිය සමාරම්භක කතාව කරමිනි.
1970 දශකයේ ශ්‍රී ලංකා මහ බැංකුවට විශිෂ්ඨ කීර්තියක් තිබූ බවත් පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජකාරී කරන සමයේ මහ බැංකුවේ සේවය කළ අයෙකු ලෙස තමාව හදුන්වාදීමේදී ජාත්‍යන්තරයේ විශාල ප්‍රසාදයක් තිබූ බවත් නව මහ බැංකු අධිපතිවරයා එහිදී සඳහන් කළේය.
කාටවත් බය නැතිව වැඩ කරන්න යැයි ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී තමාට ප්‍රකාශ කළ බවත් එම උපදෙස් අනුව කටයුතු කරන බවත් සඳහන් කළ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා රටේ ආර්ථිකය ස්ථාවර කිරීම හා මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීමට මහ බැංකුව කටයුතු කළ යුතු බව අගමැතිවරයා හමුවූ අවස්ථාවේදී තමාට උපදෙස් දුන් බවද කියා සිටියේය.
ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වන අධිපතිවරයා වේ.
නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට, ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඒ මහතාට භාරදෙනු ලැබීය.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව නව මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පසුගිය 02 වැනිදා පත් කෙරිණි.