FAST NEWS

24×7 Around the Globe

ඉදිරියටද ස්වාධීනව කටයුතු කරනවා – විගණකාධිපති

තමා කිසිදු දේශපාලන බලපෑමකට යටත්ව කටයුතු නොකළ බවත් ඉදිරියටද එලෙස ස්වාධීනව කටයුතු කරන බවත් විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) මහනුවර දී 19වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පැමිණි විගණන සේවා කොමිෂන් සභාවට අදාළව විගණකාධිපතිපරයාට පැවරී ඇති නව බලතල හා විගණන පනත පිළිබඳව රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමට දීප ව්‍යාප්ත වශයෙන් පවත්වනු ලබන රැස්වීම් මාලාවේ මධ්‍යම පළාත් රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ විගණකාධිපතිවරයා,” මට දේශපාලන බලපෑමක් ඇතිවුණා කියන එක වැරදි වැටහීමක්. ඇත්තටම ඒක නිවැරදි කරන්න ඕන. මොකද විධායකයේ බලපෑම තමයි එහෙම උනොත් කතා කරන්නේ. නමුත් මම ව්‍යවස්ථාදායකයේ පුද්ගලයෙක් හැටියට මට සිද්ධ වෙනවා පාර්ලිමේන්තුවේ දී ඕනෑම ඇමතිවරයෙකුට නිවැරදි කිරීමක් කර ගැනීමට සිදු වෙනවා. “ යනුවෙන් කියාසිටියේ ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ විගණකාධිපතිවරයාගේ එම ස්වාධිනභාවය තවදුරටත් වර්ධනය කර ගැනීමට මෙම නව පනත යටතේ මූල්‍ය ස්වාධීනත්වය, පරිපාලන ස්වාධිනත්වය ඇතුළු ස්වාධිනත්වයේ සෑම අංගයක්ම දේශපාලන හා අනෙකුත් ආයතනවල බලපෑමෙන්  ඉවත් කර විගණකාධිපති දෙපාර්තමේන්තුව ස්වාධීනව පවත්වාගෙන යෑමට කටයුතු කරන බවයි.