මන්ත‍්‍රී මර්වින් සිල්වා ජනපති මෛත්‍රීට එක්වෙයි.

මන්ත‍්‍රී මර්වින් සිල්වා ජනපති මෛත්‍රීට එක්වෙයි.

 

”මනාප ක‍්‍රමය අහෝසි කරමු-20 සම්මත කරමු” මැයෙන් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (08) සවස පැවැති ජන හමුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ ආන්දෝලනාත්මක ඇමැති භූමිකාවකට හිමිකම් කී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින් සිල්වාද ආධාරකරුවන් කණ්ඩායමක් සමඟ පැමිණ සිටියේය.

කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨය ආසන්නයේ මෙම රැස්වීම පැවැත්වුණු අතර එහි පසෙකින් වූ පඩිපෙළක් මත මර්වින් සිල්වා මන්ත‍්‍රීවරයා ඉඳගෙන සිටිනු දක්නට ලැබිණි.

”අපි මෛත‍්‍රී සමඟයි – කැලණිය මර්වින් සිල්වා” යනුවෙන් සඳහන් බැනරයක් ද ඒ ආසන්නයේ ප‍්‍රදර්ශනයට තබා තිබිණ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කොට තිබූ මේ රැස්වීමට එම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් රාශියක් සහභාගි වූ අතර ඒ සියලූ දෙනාම පාහේ වේදිකාව ඉදිරියේ අසුන්ගෙන සිටිය දී මර්වින් සිල්වා බිම ඉඳ ගෙන සිටීම කැපී පෙනුණි.

මාධ්‍ය ආයතනවලට කඩා පැන තර්ජනය කිරීම, මාධ්‍යවේදීන්ට අභිරහස් ප‍්‍රහාර එල්ල කොට ශරීරාංගවලට හානි කිරීම වැනි කටයුතු හේතුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ කුප‍්‍රකට චරිතයක් වූ මර්වින් සිල්වා කැලණියේදී රාජ්‍ය සේවකයකු ගස් බැඳීමේ සිදුවීමට අදාළව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විනය පරීක්ෂණයක් පවත්වන ලද්දේ එවක පක්ෂයේ මහ ලේකම් වූ මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙනි. රාජ්‍ය සේවකයා තමන් විසින්ම ගස් බැඳගෙන ඇති බවට එම පරීක්ෂණයේදී අනාවරණය වූ බැවින් මර්වින් සිල්වාට එල්ල කෙරුණු චෝදනාවලින් ඔහු නිදහස් කෙරුණු බව පක්ෂ මහ ලේකම්වරයා පසුව මාධ්‍යයට ප‍්‍රකාශ කොට තිබුණි.

වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම්වරයා වූ පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් පහරදී, කොණ්ඩය කපා කටේ ඔබා, කකුලක්ද කඩා කාණුවකට විසිකොට යාමේ සිදුවීම එවක මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අභිරහස් ප‍්‍රහාර අතරින් එකකි. පසු අවස්ථාවක මර්වින් සිල්වා ඇමැතිවරයා ප‍්‍රකාශ කර තිබුණේ පෝද්දල ජයන්තට ඒ ටික කළේ තමන් බව ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පසඟ පිහිටුවා වන්දනා මාන කරන ඇමැති චරිත කීපය අතර ප‍්‍රමුඛ චරිතය වූයේ ද මර්වින් සිල්වා ය.