අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයට විශේෂ දිනයක්.

අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයට විශේෂ දිනයක්.

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගෙන ඡන්ද විසීමක් සිදුකිරීම සඳහා විශේෂිත දිනයක් කැඳවන්නැයි කථානායක චමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (08දා) ප්‍රකාශ කළේය.

අද (09දා) සිට එළඹෙන ඉදිරි සතියක කාලය තුළ මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට කථානායකවරයාට අවස්ථාව තිබෙන බව වීරවංශ මහතා සඳහන් කළේය.

නාරාහේන්පිට අභයරාමයේදී ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“මෙහෙම විශ්වාසභංග යෝජනාවක් භාර දී තිබියදී ඒක ප්‍රමාද කිරීම සුදුසු නෑ. ඒක පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනියි. එක්සත් ජාතික පක්ෂය මෙම අභියෝගයට මුහුණදෙන්න සූදානම් නම් කරුණාකර විශේෂ දිනයක් දාන්න. ඒ දිනය ප්‍රකාශයට පත් කරන්න. පුළුවන් නම් පාර්ලිමේන්තුවේ ඡන්දෙන් දිනලා පෙන්වන්න කියන අභියෝගය එක්සත් ජාතික පක්ෂයට කරනවා” යනුවෙන් පවසා සිටියේය.

විමල් වීරවංශ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ විශ්වාසභංග යෝජනාව අත්සන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අත්සන් ඉවත් කරගන්නැයි බලපෑම් එල්ල වී තිබෙන බවයි.

ආණ්ඩුවේ ඇමති ධුර ලබාදිය හැකි බව සහ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබාදිය හැකි බව කියමින් ආණ්ඩුවේ ප්‍රබල චරිත කිහිපයක් මෙම බලපෑම් කර තිබෙන බව හෙතෙම ප්‍රකාශ කළේය.

එහෙත් මේ දක්වා කිසිම මන්ත්‍රීවරයෙකු දිවුරුම් ප්‍රකාශ මගින් තමන්ගේ අත්සන් ඉවත් කරගෙන නැති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.