අගමැතිට එරෙහි විශ්වාසභංගයට එජාපය ජනපති සහාය පතයි.

අගමැතිට එරෙහි විශ්වාසභංගයට එජාපය ජනපති සහාය පතයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ජනාධිපතිවරයාගේ සහාය අපේක්ෂා කරන බව ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම පවසති.

කොළඹ ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකිශ කර සිටියේ මෙම විශ්වාසභංග යෝජනාව පදනම් විරහිත එකක් වශයෙනි.

අග‍්‍රාමාත්‍යවරයා කි‍්‍රයා කර ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතා ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට බවද මෙහිදී හෙතෙම සිහිපත් කර සිටියේය.

අදාළ විශ්වාසභංග යෝජනාව නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යෝජිත විසිවැනි සංශෝධනයට බාධා ඇති වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කර සිටියේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මවිතයට කරුණක් නොවන බවය.

වර්තමාන ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදීන් බන්ධනාගාරගත කිරීම, මහාපරිමාණ දුෂණ හා වංචා පිළිබඳ අසත්‍ය ප‍්‍රචාර පතුරුවා හැරීම හේතුවෙන් මෙවැනි විශ්වාසභංගයක් කරලියට පැමිණි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.