FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපතිට හා හිටපු අගවිනිසුරුවරු දෙදෙනෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,හිටපු අගවිනිසුරුවරුන් වන සරත් එන් සිල්වා, මොහාන් පීරිස් මහත්වරුන් ඇතුළු අගවිනිසුරුවරුන් කිහිප දෙනෙකු සහ නීතිඥවරුන් සිදු කළ බව කියන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් සිදු කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිළදාරීහු කිහිප දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස සඳහන් වෙයි.

‘හෙල්පින් හම්බන්තොට’ නඩුවේ සිටම අධිකරණය හිටපු ජනාධිපතිවරයාට පක්ෂපාති වීමෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හානිවීම් ඇරඹූ බව එහි සඳහන් වේ.

එසේම ඉදිරිපත් වූ නඩු විභාගයේදී විවිධ පාර්ශ්වයන්ට වාසි සහගත ලෙස තීන්දු ලබාදෙමින් අධිකරණයේ ස්වාධීනත්වය නැති කර ඇති බවද මෙහි සඳහන් වේ.

එසේම විශාල පරිමාණ වංචා සහ දූෂණ සිදුවීම්වූ බව ද පෙත්සම්කරු දක්වයි.

මෙම සිද්ධීන් පිළිබඳව අල්ලස් හෝ වංචා විමර්ශන කොමිසමට විටින් විට පැමිණිලි කළ නමුත් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට එම කොමිසම කටයුතු නොකළ බව පෙත්සම්කරු පවසයි.

එබැවින් එම පැමිණිලි සම්බන්ධයෙන් ස්වාධීන සහ විධිමත් පරීක්ෂණ පවත්වන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කරන්නැයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.