FAST NEWS

24×7 Around the Globe

කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය දිය නොහැකියි – නීතිපති

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා යැයි සැළකෙන කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය ලබාදීමේ හැකියාවක් නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

ඔහු නීතිවිරෝධී ලෙස කටයුතු කර ඇති බැවින් මෙරට පුරවැසිභාවය ඉල්ලා සිටීමේ අයිතියක් හෝ එය ලබාදීමේ හැකියාවක් නැති බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය.

තමන්ට මෙරට පුරවැසිභාවය ලබාදෙන ලෙස ඉල්ලමින්  රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මීට පෙර අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එම පෙත්සම ඊයේ (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවන ලැබූ අතර එම අවස්ථාවේදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මේ බව සඳහන් කර ඇත.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නිතීඥවරයා අවධාරණය කර ඇත්තේ දේශපාලන කටයුතුවල නිරතව සිටින පෙත්සම්කරුට ජීවිත ආරක්ෂාව පිණිස වෙනත් නමක් භාවිත කරමින් විදේශ ගතවී ඇති බවයි.

කරුණු සළකා බැලූ අධිකරණය පෙත්සම සම්බන්ධයෙන් ලිඛිත දේශන මැයි මස 24 වනදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස දැනුම්දුන්හ.