FAST NEWS

24×7 Around the Globe

අමාත්‍යාශ සහ රාජ්‍ය ආයතන කිහිපයක් අග්‍රාමාත්‍යවරයාගේ අධීක්ෂණයට.

මේ වනවිට විවිධ අර්බුදවලට ලක් වී ඇති ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු ආයතන කිහිපයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සෘජු අධීක්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබේ.

මීට අමතර ව තවත් අමාත්‍යාශ කිහිපයක් සහ රාජ්‍ය ආයතන කිහිපයක් අග්‍රාමාත්‍යවරයාගේ අධීක්ෂණයට ලක් කිරීමට පියවර ගැනෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

ඒ යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මෙන්ම, නිවාස අමාත්‍යාංශය ද අග්‍රාමාත්‍යවරයාගේ ඍජු අධීක්ෂණයට ලක් කිරීමට නියමිතයි.

අදාළ ආයතන දැඩි නිලධාරිවාදයට ලක්වීම හේතුවෙන් ඒවායේ ක්‍රියාකාරීත්වයට බාධා පැමිණීම මෙම පියවරට හේතුව බව වාර්තා වේ.

එමෙන් ම ඒවායේ නිලධාරීන් රජයේ වැඩපිළිවෙලට සහායක් නොවන ලෙසින් මන්දගාමී ලෙස කටයුතු කිරීම ද අදාළ ආයතන අග්‍රාමාත්‍යවරයාගේ අධීක්ෂණයට ලක් කිරීමට හේතුවක් වී තිබේ.

මේ ආකාරයේ ගැටලු පැවති විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය කාලයේ දී අග්‍රාමාත්‍යවරයාගේ ඍජු අධීක්ෂණයට යොමු කෙරුණි. එමගින් එහි පැවති ගැටලු රැසක් නිරාකරණය කර ගැනීමට හැකි වී ඇත.