FAST NEWS

24×7 Around the Globe

සන්ධාන මන්ත්‍රීවරයෙකුගෙන් හරීන් ප්‍රනාන්දුට එරෙහිව පෙත්සමක්.

හරීන් ප්‍රනාන්දු මහතා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

ඌව පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු වන හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

හරීන් ප්‍රනාන්දු මහතා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යධුරයේ කටයුතු කිරීම නීතියට පටහැනි බව පවසන පෙත්සම්කරු ඔහුට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් මීට පෙර අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළ ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බව පවසා ඇත.

මේ හේතුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රධාන අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම තහනම් කිරීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ බව ඔහු පෙත්සම ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ඌවේ හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තනතුරෙන් ඉවත් කර හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීම අභියෝගයකට ලක් කරමින් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත මහතා ඇතුළු ඌව පළාත් සභාවේ මන්ත්‍රීන් පිරිසක් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබූ අතර එය පසුගිය මස 21දා සලකා බැලූ අවස්ථාවේදී ප්‍රතික්ෂේප විය.