FAST NEWS

24×7 Around the Globe

අගමැති කී ණයෙන් සීයට 62%ක් ගත්තේ පසුගිය අවුරුද්දේ – හිටපු ජනපති.

මේ වසරේ ගෙවීමට ඇතැයි අගමැති පාර්ලිමේන්තුවේදී කී ණය ප‍්‍රමාණයෙන් 62%ක්ම ලබාගෙන ඇත්තේ පසුගිය වසරේදී බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ඒ අනුව ගෙවීමට ඇති බව කියන ඩොලර් මිලියන 4000න් 2497ක්ම ලබාගෙන ඇත්තේ වත්මන් රජය බවද ඔහු කීවේය.

තමන්ගේ කාලයේ ලබාගත් ණයවලින් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක කළ නමුත් වත්මන් රජය ගත් ණයවලින් බෝක්කුවක් හෝ ඉදිකර නැතැයිද රාජපක්‍ෂ මහතා කීවේය.

වත්මන් රජයේ ආර්ථික අවපාලනය නිසා ඉදිරි කාලයේදී තවත් බදු වැඩිකිරීම්, සුභසාධන හා සහන කප්පාදු, ජල, විදුලි, විදුලි සංදේශ හා ගමනා ගමන ගාස්තු වැඩිවීම් ආදියට මුහුණදීමට ජනතාවට සිදුවනු ඇතැයි ද හිටපු ජනාධිපති කීවේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ‘යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය‘ මැයෙන් බත්තරමුල්ලේ සිය කාර්යාලයේදී ය.