තම මානසික ආබාධිත ස්වරූපය නිසා කලින් තාවකාලික වීසා ලැබීම ප්‍රතික්ෂේප වූ ශ්‍රී ලාංකික දැරියකට ඕස්ට්‍රේලියා ආගමන හා දේශ සීමා ආරක්ෂාව පිළිබඳ ඇමති පීටර් ඩියුටොන් ගේ මැදිහත්වීමෙන් තාවකාලික වීසා ලැබී ඇතැයි වාර්තා වේ.
එලිසා ෆොන්සේකා නමැති නව හැවිරිදි දැරියට වීසා නොලැබීම ඕස්ට්‍රේලියානු පුවත්පත්වල පසුගියදා දැඩිව විවේචනයට ලක් විය. මෙහිදී හිටපු ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායක ග්‍රේග් චැපල්ගේ මැදිහත්වීම කැපී පෙනේ.
එලිසාගේ පියා ද ක්‍රිකට් විනිසුරුවරයකු වන අතර එම හැඳුනුම්කම නිසා තමාට වීසා ලබාගැනීමට උදව් කරන්නැයි ඔහු චැපල්ගෙන් ඉල්ලා තිබේ. මෙහිදී මෛත්‍රී සහගතව ඊට මැදිහත් වූ චැපල් ‘මේක අනුකම්පා කළ යුතු අවස්ථාවක්. ඒ නිසයි මං මීට මැදිහත් වුණේ. මේ වගේ ළමයෙකුට උදව් කරන්න කියා ආගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ පළමු වතාවටයි. ඒකෙන් සේවයක් වුණා කියා මං සතුටු වෙනවා‘ යැයි පැවසී ය.
බටහිර ඕස්ට්‍රේලියාවේ ගම්බද පෙදෙසක පිහිටි ආගමික ආයතනයක සේවය කිරීමට ද එලිසා ගේ මාපියන්ට මේ නිසා ඉඩකඩ ලැබෙනු ඇත.








