රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවමානයට ලක් කරමින් රජයේ ප්‍රධානීන් හා ඇමැතිවරුන් අදහස් දැක්‌වීම යහපාලන දේශපාලන සංස්‌කෘතියට කිසිසේත් උචිත නොවන බව ජාතික හෙළ උරුමය අවධාරණය කරයි.
රටේ උගත් සමාජය නියෝජනය කරන වෘත්තීයවේදීන්ට අවමන් කිරීම සහ වෘත්තීය සංවිධාන සෘජුව හෝ වක්‍රව බිය වැද්දවීම රජය විසින් කිසිසේත් නොකළ යුත්තක් බවත් ඔවුන්ට අවමන් කර ගැටුමකට ආරාධනා කිරීම ප්‍රශ්න නිරාකරණයට හෝ කළමනාකරණයට මගක් නොවන බවත් ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.
ඉන්දු ලංකා ආර්ථික හා තාක්‍ෂණ සහයෝගිතා ගිවිසුම පිළිබඳ රටේ පිළිගත් වෘත්තීයවේදීන් හා වෘත්තීය සංවිධාන ඉදිරිපත් කරන විරෝධතා පිළිබඳ රජයේ ප්‍රධානීන් සහ ඇතැම් ඇමැතිවරුන් දක්‌වන ප්‍රතිචාර අවලස්‌සන බව පැවසූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා වෘත්තීයවේදීන් ඉදිරිපත් කරන තර්ක විතර්ක හා අදහස්‌වලට පාලකයන් ප්‍රබුද්ධ ලෙස ප්‍රතිචාර දැක්‌විය යුතු යෑයිද එම සංවාද භාෂාව ඉතා ශීලාචාර විය යුතු යෑයිද කියා සිටියේය.







