FAST NEWS

24×7 Around the Globe

තොටළඟ විරෝධතාකරුවෝ තාවකාලිකව ගමනාගමනයට ඉඩ දීමට එකග වෙති.

තොටළඟ ප්‍රදේශයේ අනවසර නිවාස ඉදිකිරීම් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම නිවාසවල වාසය කළ පිරිස් තොටළඟ,ජපන් මිත්‍රත්ව පාලම අවහිර කරමින් සිදුකළ විරෝධතාවය තුළ වාහන ගමනාගමනය සඳහා තාවකාලිකව ඉඩ විවර කරදීමට විරෝධතාකරුවන් එකඟවී තිබේ.

උතුරු කොළඹ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමග කළ සාකච්ඡාවෙන් අනතුරුව දහවල් 12 වනතුරු වාහන සඳහා මාර්ගය අවහිර නොකිරීමට ඔවුන් තීරණය කළ බව සඳහන්ය.

මේ අතර මාධ්‍යයට අදහස් දක්වමින් අජිත් රෝහණ මහතා කියා සිටියේ නිවාස ලබාදීම හෝ උද්ඝෝෂකයින්ගේ ඉල්ලීම් ඉටුකිරීමට පොලීසියට හැකියාවක් නැති බවත්,එය රජය සමග සාකච්ඡා කර විසඳාගන්නා ලෙස විරෝධතාකරුවන්ට දැනුම් දුන් බවයි.

එහෙත් මාර්ගය අවහිර නොකර සිටීම සඳහා උද්ඝෝෂකයින් එකඟවූ බව හෙතෙම සඳහන් කළේය.