FAST NEWS

24×7 Around the Globe

විදේශ රැකියා උප ඒජන්ත තනතුරු වහාම අවලංගු කරයි.

විදේශ රැකියා උප ඒජන්ත තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය  පවසයි.

ලියාපදිංචි විදේශ රැකියා ආයතනවල කටයුතු සඳහා එම ආයතනවලින් සේවයේ යොදාගත් විදේශ රැකියා ප්‍රවර්ධන නිලධාරීන් ලෙස පත්කරන පිරිස මෙම උප ඒජන්තවරුන් ලෙස නම් කර තිබුණි.

ඔවුන්ට 2011 වසරේ සිට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් හැඳුනුම්පතක් ද නිකුත් කර තිබූ අතර මේ වන විට එවැනි හැඳුනුම්පත් 1053ක් නිකුත් කර ඇති බව  එම කාර්යාංශය සඳහන් කළේය.

කෙසේවෙතත් එම උප ඒජන්තවරුන්ගෙන් ඉටුවිය යුතු කාර්යය නිසි පරිදි ඉටුනොවීම, අදාළ හැඳුනුම්පත් උපයෝගි කරගෙන විවිධ වංචනික ක්‍රියාවල නිරත වීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් එම තනතුර අහෝසි කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ.

එම තනතුරු අහෝසි  කිරීමත් සමග ඔවුන්ගේ හැඳුනුම්පත් භාවිතය ද මේ වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට තහනම් කර ඇති  බව එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.