වරදක් කළ බවට පරීක්ෂණවලින් ඔප්පු වුවහොත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට වුවද නඩු පැවරීමට හැකියාව පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චැනල් ෆෝ නාලිකාව සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමීන් සඳහන් කර ඇත.
අග්‍රාමාත්‍යවරයා චැනල් ෆෝ නාලිකාව සමඟ පළකල අදහස් මෙසේය.
‘‘මෙරට ජාතීන් අතර සංහිඳියාව ඇතිකරලීමට අපි කටයුතු කරනවා. ඒක ජිනීවා මානව හිමිකම් කොමිසම අපිට නිර්දේශ කරලා තියෙන කරුණක්. අපි එම කොමිසමට ගරු කරනවා. ඒවගේම තමයි ඔවුන් අපිට නිර්දේශ කරලා තියෙන කරුණු කාරණා පිළිබඳවත් අපි ක්‍රියාකරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
මේ සියලූම කටයුතු මැයි මාසය අවසන් වනවිට ක්‍රියාත්මක කරනවා කියලා මම කියන්න කැමතියි. ජාත්‍යන්තර ප්රජාවත් එක්ක එකතුවෙලා අපි වැඩකරන්න කැමතියි. දශක කිහිපයක් පුරා මෙරට පැවති යුද්ධයෙන් සංවර්ධනය ඇණහිටියා.
ඒ වගේම තමයි අපිට චෝදනා එල්ලවුණා යුද්ධයෙන් විශාල පිරිසක් මියගියා කියලා. ජාත්‍යන්තර ප්රජාවත් එක්ක එකතුවෙලා යුද්ධයෙන් මියගිය පුද්ගලයන් ගැන හොයන්නත් අපි කැමතියි.
උතුර සහ දකුණේ කවුරුවත් අතුරුදන්වෙලා නෑ. එහෙම අතුරුදන්වෙලා තියෙනවා නම් ඒ අය ගැන තොරතුරුත් අපි ළඟ තියෙනවා.
බලය අයුතු ලෙස භාවිතා කරමින් කවුරු හරි කෙනෙක් කටයුතු කරලා තියෙනවා නම් ලංකාවේ නීතිය අනුව එයාලට දඩුවම් පැමිණවිය යුතුයි. රාජපක්ෂවරුද කියලා විශේෂයක් නැහැ.’’