ථේරවාදී භික්ෂු කතිකාවතක් පිළිබඳ පනතක අවශ්‍යතාව දීර්ඝ කාලයක් තිස්සේ පැවතිය ද විවිධ රජයන් දේශපාලන කරුණු මුල් කර ගනිමින් එයට මූලිකත්වය නොදුන් බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සඳහන් කරයි.
ශාසනික කටයුත්තක් ලෙස සළකා මෙය කඩිනම් කළ යුතු බව අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් උන්වහන්සේ පෙන්වා දෙයි.
ධර්මධර, විනයධර මහ තෙරුන්ගේ සම්මුතියෙන් ඇති කර ගන්නා ලද සාසනික කතිකාවත්වලට නෛතික බලය ලබා ගැනීම ඉතිහාසයේ පවා සිදු වී ඇති බව උදාහරණ ගෙන හැර දක්වමින් උන්වහන්සේ මෙම ලිපියේ පෙන්වා දෙයි.
එබැවින් මෙවැනි පනතක අවශ්‍යතාව දීර්ඝ කාලයක සිට පැවතිය ද දේශපාලනික හේතූන් මත එය විවිධ අවස්ථාවල දී නොසලකා හැර ඇති බව මෙම ලිපියෙන් මහනාහිමියන් අවධාරණය කරයි.
මෙලෙස බුද්ධශාසනයේ චිරස්ථිතිය උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග දේශපාලනික අරමුණු අරභයා නොසලකා හැරීම හේතුවෙන් මතුව ඇති ගැටළු තවදුරටත් විසඳාගත නොහැකි තත්ත්වයකට යොමුවෙමින් පවතින බව ද උන්වහන්සේ පෙන්වා දෙයි.
වත්මන් රජය ආරම්භ කර ඇත්තේ පසුගිය රජයන් විසින් නොසලකා හැර තිබූ ශාසනික කටයුත්තක් බව මල්වතු පාර්ශවයේ මහ නාහිමියන් මෙම ලිපිය මගින් වැඩි දුරටත් කියා සිටී.








