ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීම සඳහා ඩෙන්මාර්ක් ව්‍යාපාරික ප්‍රජාවගේ විශේෂ අවධානය යොමු ව ඇති බවත් ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්තය පිළිබඳ ඔවුන් වැඩි බලාපොරොත්තු තබා සිටින බව ද ශ්‍රී ලංකාවේ ඩෙන්මාර් තානාපති පීටර් ටර්ක්සෝ ජෙන්සන් මහතා (Peter Taksoe Jensen) සඳහන් කරයි.
ඔහු මේ බව පැවසූවේ පසුගිය දා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග පැවති සාකච්ඡාවේ දී ය.
ඩෙන්මාකය සමග දිගු කාලයක සිට පැවති සම්බන්ධතා වඩාත් තර කර ගනිමින් යහපත් ආර්ථික සම්බන්ධතා හා ද්වීපාර්ශික වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාව ඉතා සුදුසු රටක් බවත් ශ්‍රී ලංකාව විදේශ ආයෝජකයන්ට ලබාදෙන පහසුකම් හා අවස්ථා පිළිබඳ තමා ඉතාමත් සතුටට පත්වන බවත් ශ්‍රී ලංකාවේ ඩෙන්මාර් තානාපතිවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.
දෙරට අතර පැවති වෙළඳාමේ ඉහළ වර්ධනයක් පසුගිය කාලයේ පෙන්නුම් කළ බවත් 2014 වසරේ දී අමෙරිකන් ඩොලර් මිලියන 93 ක වෙළඳ ගනුදෙනු සිදු වූ බවත් රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේ ය.
2014 වසරේ දී ශ්‍රී ලංකාව අමෙරිකන් ඩොලර් 29.93 ක අපනයනයක් ඩෙන්මාර්කයට සිදු කළ අතර එහි වැඩි වටිනාකමක් ඇඟලුම්වලට හිමි වේ.
ශ්‍රී ලංකාවේ ඇඟලුම්, රබර් නිෂ්පාදන, තේ, සෙරමික්, කුළුබඩු, එළවඑ, පළතුරු, මැණික් හා ස්වර්ණාභරණ, ඉලෙක්ට්‍රෙනික උපාංග යන ක්ෂේත්‍රයන්වල අපනයන සඳහා වැඩි අවස්ථාවක් ඩෙන්මාකයේ දී හිමි වේ.
උතුරු යුරෝපයේ ඉතා දියුණු වෙළඳපලක් ලෙස සලකන ඩෙන්මාර්කයේ අපනයන අතර ඖෂධ, ගෘහ භාණ්ඩ, මස්, මාඵ, යන්ත්‍ර සූත්‍ර ප්‍රධාන ස්ථානයක් ගනී.






