සහජීවනයෙන් ජීවත්වීමට අවැසි වටපිටාව ගොඩනැඟෙමින් පවතින අවස්‌ථාවක තෛපොංගල් උත්සවය සැමරීමට ලැබීම සතුටක් යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදට (15දා) යෙදෙන තෛපොංගල් උත්සවය නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
නව වසරක ඇරඹුම නව ප්‍රාර්ථනා, අරමුණු ගොඩනගා ගනිමින් ජීවිතය පිළිබඳ නවමු අපේක්‍ෂා දල්වා ගනිමින් ඉදිරිය දකින්නට ලැබෙන වටිනා අවස්‌ථාවක් ලෙස මම දකිමි.
ලොව පුරා දමිළ ජනතාව තෛමාසය නොහොත් දුරුතු මාසයේ පවත්වන තෛපොංගල් උත්සවය ආගමික, සංස්‌කෘතික සහ සමාජයීය වශයෙන් අතිශය වැදගත් අසිරිමත් උත්සව අවස්‌ථාවකි. එම ජනතාවගේ අස්‌වනු මංගල්‍යයද වන මෙම උළෙල සූර්ය වන්දනාවට ප්‍රමුඛත්වයක් දෙන බැවින් සූර්ය මංගල්‍ය සැමරුමද වේ. මෙදින සූර්ය උදාවත් සමඟ දමිළ ජනතාවට නව වසර උදාවේ.
හිරු දෙවියන් විසින් ජීවිතය ලබාදෙන බව සිහිපත් කරමින්, තම පළමු අස්‌වැන්න කෘතවේදීව හිරුට පුද කිරීමද, අස්‌වැන්න සරුසාර කිරීමට උරදුන් වර්ෂාව, ගව මහීෂාදී සතුන් ඇතුළු සමස්‌ත සොබාදහමට තුති පිදීමද මෙදින සිදුවේ.
සමස්‌ත ශ්‍රී ලාංකික ජනතාවගේ සංස්‌කෘතික, ආගමික විවිධත්වය අගයමින්, ගරු කරමින් සමගියෙන්, සහජීවනයෙන් ජීවත් වන්නට අවැසි වටපිටාව ගොඩනැඟෙමින් පවතින අවස්‌ථාවක, තෛපොංගල් උත්සවය සමානාත්මතාවයට ගරු කරන, කෘතවේදීත්වය අගයන දිවි පෙවෙතක් ගත කරන්නට අප සැමට ඇරයුම් කරයි.