තෛපොංගල් දිනයේ උතුරවන කිරි දියර සේ මනුෂ්‍යයන් වෙත මනුෂ්‍යයන්ගේ ආදරයද, දැල්වෙන පහන් වැටි ඔස්‌සේ අඳුර දුරුවී සැබෑ සහජීවනයේ ආලෝකයද විහිදයේවා යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෛපොංගල් දින සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
එම පණිවුඩයේ මෙසේද සඳහන් වේ.
මිනිසා සහ සොබාදහම අතර චිරාත් කාලීනව පවත්නා අවියෝජනීය සබඳතාව වඩාත් ආකර්ෂණීය ලෙස හා ගෞරවාන්විතව විදහා දැක්‌වෙන අවස්‌ථාවක් ලෙසින් තෛපොංගල් උත්සවය හැඳින්විය හැකිය. මෙම උත්සවය වඩාත් උත්කර්ෂවත් වන්නේ, මිනිසා මිහිකත කෙරෙන් ලබන්නා වූ සුපෝෂණය වෙනුවෙන් ඔහු විසින් පෙරළා සමස්‌ත සොබාදහම වෙනුවෙන් පිරිනමන්නා වූ කෘතවේදීත්වයද සොබාදහමේ අසහාය බලවතා ලෙසින් සලකන සූර්යයා වෙනුවෙන් දක්‌වන්නාවූ අසීමිත භක්‌තියද මෙම උළෙල තුළ නිරූපිත බැවිනි.
කෘෂිකාර්මික ජීවිතයට අනුගත වන මිනිසා මානව පුරාණයේ දුර ඈතක සිට අද දක්‌වා තෛපොංගල් වැනි උත්තම උත්සව රැගෙන පැමිණියේ අෙන්‍යාන්‍ය ගෞරවය, සාමූහික ගුණය සහ පොදු සමාජ සම්මුතීන් කෙරෙහිද දැඩිව බැඳෙමිනි. එදවස ලෝකය වඩා යහපත් තැනක් බවට පත් කරවන්නට මෙබඳු උත්සව මහත් අනුබලයක් වූයේය. වර්තමානයෙහි අපගේ යුතුකම සහ වගකීම වනුයේ සොබාදහමට පූජනීයත්වයෙන් සලකන සමාජ උන්නතියටද, සමාජ සහජීවනයටද නන් අයුරින් දායක වන අතීත උරුමයන් එකී රුව ගුණ තේජස සමඟ අනාගතයට රැගෙන යැමය.
ජාතියක අනන්‍යතාවයද, නොකිළිටි සංස්‌කෘතික උරුමය ද දිදුළන්නා වූ තෛපොංගල් උත්සවය, වසර දහස් ගණනක් මුළුල්ලේ පැවත ආ ආකාරයටම අද දවසේද පැවතීම තුළින් විදහා දැක්‌වෙන්නේ එය, වෙනස් වන කාලය හමුවේ විපරීතයන්ට ලක්‌නොවූ බවකි. එහි විශිෂ්ටත්වයද එයම වන්නේය.
අපගේ සහෝදර ජනතාවගේ ආධ්‍යාත්මය සමඟ දැඩිව බැඳී පවතින තෛපොංගල් උත්සව දිනයේ ඔවුන් විසින් උතුරවන කිරි දියර සේ මනුෂ්‍යයන් වෙත මනුෂ්‍යයන්ගේ ආදරයද, දැල්වෙන පහන් වැටි ඔස්‌සේ අඳුර දුරුවී සැබෑ සහජීවනයේ ආලෝකයද විහිදයේවායි ආශිංසනය කරන අතර ඔවුනට සුබ තෛපොංගල් දිනයක් වේවායිද ප්‍රාර්ථනය කරමි.