FAST NEWS

24×7 Around the Globe

යෝජිත ව්‍යවස්‌ථා සංශෝධනය සමග ශ්‍රීලනිපයෙන් නව රජයක් ?

යෝජිත ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් අතර පොදු එකඟත්වයක් ඇතිකර ගැනීම සඳහා එම පක්ෂයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මේවනවිට සාකච්ජා ආරම්භ කර ඇති බව විස්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටියි..

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා ඇත්තේ ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියේදී ආණ්‌ඩුවට එකතු වී සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනාම ඒකාබද්ධ විපක්‍ෂයේ ස්‌ථාවරය සමඟ එක්‌ව එකට කටයුතු කරන බවය.

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අපි සියලු දෙනාම එක්‌ව ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කර ව්‍යවස්‌ථා සම්පාදනයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ යෝජනා ක්‍රියාත්මක කරවීමට පියවර ගන්නා බව අලුත්ගමගේ මහතා ‘දිවයින’ පුවත්පතටද පවසා තිබේ.

”මේ ඇති වී තිබෙන සමගිය තුළින් ශ්‍රීලනිප රජයක්‌ පිහිටුවා ගැනීමට ඉඩකඩ තිබෙනවා. ඒ ගැනත් දැන් අපි කතාබහ කරගෙන යනවා. ශ්‍රීලනිපය දෙකඩ නොවී අපට අපේ රජයක්‌ හදාගන්න මේක හොඳ අවස්‌ථාවක්‌ ” බව ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.