FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශවාසීන්ගේ උද්ඝෝෂණයක් නිසා ඇඹිලිපිටිය උණුසුම් වෙයි.

ඇඹිලිපිටිය නගරයේ මාර්ග අවහිර කරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

ඇඹිලිපිටිය නගරයේදී පෙරේදා අලුයම ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රත්නපුර රෝහලේ ප්‍රතාකාර ලබමින් සිටියදී පුද්ගලයකු මිය යාමත් සමග මෙම තත්ත්වය උද්ගතව ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ගැටුම අවස්ථාවේ අදාළ පුද්ගලයා ගොඩනැගිල්ලේ තෙවන මහලින් පහළට පැන ඇති බව ය.

එම ගොඩනැගිල්ලේ පැවති සාදයක් අතරතුර ඇති වූ නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීමට පොලීසිය මැදිහත් වූ අවස්ථාවේ මෙම ගැටුම හටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එම ගැටුමෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙක් හා සිවිල් වැසියන් තිදෙනෙක් තුවාල ලැබූහ.

තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.