ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කරමින් දෙරට අතර ගිවිසුම් 08 කට ඊයේ (5 දා) අත්සන් තැබිණි.
දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්‌තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව ඊයේ (05 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවූ අතර අනතුරුව නායකයන් ඉදිරියේ ගිවිසුම්වලට අත්සන් තැබීම සිදුකෙරිණි.
ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය අතර විද්‍යාව, තාක්‌ෂණය හා නව්‍යකරණ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට පළමුව ශ්‍රී ලංකාවේ විද්‍යා, තාක්‌ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය හා පාකිස්‌තානයේ විද්‍යා හා තාක්‌ෂණ අමාත්‍යාංශය අතර අත්සන් තැබිණි.
දෙරට අතර තාක්‌ෂණය හුවමාරු කරගැනීම හා ව්‍යාප්ත කිරීම, ඒකාබද්ධ පර්යේෂණ හා සංවර්ධනය, විද්‍යාත්මක හා තාක්‌ෂණික තොරතුරු හා දැනුම හුවමාරු කර ගැනීම තුළින් ජෛව තාක්‌ෂණය, නැනෝ තාක්‌ෂණය, ආහාර තාක්‌ෂණය හා වෙනත් විද්‍යාත්මක තාක්‌ෂණික සහයෝගීතා ක්‌ෂේත්‍ර සම්බන්ධයෙන් දිරිමත් කිරීමට හා දෙරට අතර සහයෝගීතාව ඇතිකිරීම සඳහා මෙම අවබෝධතා ගිවිසුම මගින් විධිවිධාන සපයයි.








