වකුගඩු රෝගීන්ට ජල පෙරණ ලබා දීමේදී සිදු වී ඇති මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ජනපති කොමිසම පරීක්ෂණ අරඹයි
උතුරුමැද පළාතේ වකුගඩු රෝගීන් සඳහා ජල පෙරණ ලබා දීමේදී සිදු වී ඇති මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බරපතළ වංචා හා දුෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම පරීක්ෂණ ආරම්භ කර තිබේ.
එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේ, රුපියල් දහතුන් කෝටි හතලිස් එක් ලක්ෂයකට අධික මුදලක් ගෙවා උතුරුමැද පළාත් සභාව බහු කාර්ය ජල පෙරණ 12,500 ක් මිලදී ගැනීමේදී මෙම අක්රමිකතාව සිදුව ඇති බව ය.
ඒ සම්බන්ධයෙන් උතුරුමැද පළාතේ අමාත්‍යවරයෙකු ඇතුළු ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සාක්ෂි විමසීම ලබන 04 වන දා සිට ආරම්භ කරන බව ඔහු සඳහන් කළේ ය.
මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, ඉන් එක් ජල පෙරණයක් රුපියල් 10752 බැගින් මිලදී ගෙන ඇති බව ය.
නියමිත ප්‍රමිතියෙන් තොර මෙම ජල පෙරණ ටෙන්ඩර් පත්‍රයේ සඳහන් කොන්දේසිවලට අනුව නඩත්තු කිරීමක් සිදුව නොමැති බව ද හෙළි වී තිබේ.
ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේ, රාජ්‍ය නිලධාරීන්ගේ බලය අවභාවිත කරමින් මෙම මිලදී ගැනීම් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සිදු කර ඇති බව ය.








