FAST NEWS

24×7 Around the Globe

අතුරුදන් වූ බූස්සේ පාසල් සිසුවාගේ මළ සිරුර ගිං ගඟේ ඉවුරේ

දින කිහිපයක සිට අතුරුදන්ව සිටි ගාල්ල, බූස්ස ප්‍රදේශයේ පදිංචි සිසුවාගේ බවට සැකකෙරෙන මළ සිරුරක් ගිංතොට ප්‍රදේශයෙන් හමු වී තිබේ.

එම පාසල් සිසුවාගේ මළ සිරුර ගිංගඟ ඉවුර අසල තිබී සොයාගනු ලැබුවේ අද උදෑසන ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මේ වන විට මළ සිරුර එම ස්ථානයේ තබා ඇති බව ය.

මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව රත්ගම සහ ගාල්ල පොලිස් ස්ථාන මගින් විමර්ශන සිදුකරනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

පසුගිය 25 වන දා රාත්‍රි 8.45 ට පමණ මෙම සිසුවා අතුරුදන්ව ඇති බවට ඔහුගේ පියා විසින් රත්ගම පොලීසියට පැමිණිල්ලක් කර තිබිණ.

පසු දින උදෑසන ඔහුගේ පාවහන්, පොත් බෑගයක් සහ ලියූ ලිපියක් ගංතොට පාලම අසලින් සොයා ගැණින.

මොහු වයස අවුරුදු 15 ක සිසුවෙකි.