එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගත වී ඇත්තේ පක්ෂ හතරක් පමණක් බවත්, තවත් පක්ෂ 09 ක් පමණ සන්ධානයේ සාමාජිකත්වය ඉල්ලා ඇති බවත් සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දේශවිමුක්ති ජනතා පක්ෂය, මහජන එක්සත් පෙරමුණ සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය පමණක් එලෙස සන්ධානගත වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂයක් නොවන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සන්ධානයේ කටයුතු සම්බන්ධයෙන් මහජන එක්සත් පෙරමුණේ ගැටලු සාකච්ඡා කර අවසන් විසඳුමකට පැමිණිමේ හැකියාව ඇති බවද අමාත්‍යවරයා කීය.
එමෙන්ම අලුතින් සාමාජිකත්වය ඉල්ලා ඇති පක්ෂ 09 සම්බන්ධයෙන් සාකච්ඡා කර සාමාජිකත්වය දීමට සුදුසු පක්ෂ පමණක් එයට සම්බන්ධ කරගන්නා බවද හෙතෙම පැවසීය.







