ජල සම්පාදන සේවකයන්ට පොරොන්දු වූ ආකාරයට වාර්ෂික ප්‍රසාද දීමනාව ලබා නොදීමට එරෙහිව සතිඅන්ත නඩත්තු සේවාවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට නිසි ප්‍රතිචාර ලැබී නොමැති නිසා අද (28දා) උදෑසන 9.00 සිට 12.00 දක්වා කාලය තුළ සියලුම පාරිභෝගික සේවා කටයුතුවලින් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සඳහන් කරයි.
මෙම වෘත්තීය ක්රියාමාර්ගයටද නිසි ප්‍රතිචාර නොලැබුණහොත් අද සවස 5.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කරන බවත්, එහිදී දැනට පොම්පාගාරවල සේවය කරන සේවකයන් සහ කොළඹ නගරය ආශ්‍රිතව මළාපවහන ඒකකවල සේවය කරන සේවකයන් සේවයෙන් ඉවත් කරගන්නා බවත් එම සන්ධානයේ නියෝජිතයෝ සඳහන් කරති.
ඊයේ (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ එම සන්ධානයේ නියෝජිතයන් වැඩිදුරටත් සඳහන් කළේ, ජල සම්පාදන සේවකයන්ට ප්‍රසාද දීමනා ලෙස යම් මුදලක් ලබාදෙන්නේ මේ වසර තුළ ලබාදුන් ඉලක්ක සම්පූර්ණ කිරීම, ආදායම් උත්පාදනය කරදීම වැනි කරුණු සලකා බවයි.
මෙම කරුණු සලකා බැලූ පසු එක් සේවකයෙකුට රුපියල් 37,500 ක මුදලක් හිමිවන බවත්, එම මුදල ලබාදෙන බවට නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතාත් පොරොන්දු වුවද පසුව එය රුපියල් 25,000 දක්වා අඩු කිරීමට කටයුතු කර තිබෙන බවත් ජලසම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා සඳහන් කළේය.
මේ නිසා මෙයට විරෝධය පා සති අන්ත නඩත්තු සේවාවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඉකුත් 26 වැනිදා උදෑසන ආරම්භ කළ බවත්, මේ අනුව ඊයේ (27දා) සවස් වනවිට බිඳවැටීම් 500කට වැඩි ප්‍රමාණයක් වාර්තා වූ බවත් ඔහු පවසා සිටියේය.
එම බිඳවැටීම් යථා තත්ත්වයට පත් නොකළ බවත්, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට කිසිදු වගකිවයුත්තෙකු සාකච්ඡාවක් හෝ ලබා දී නොමැති බවත් හෙතෙම කියා සිටියේය.
මේ නිසා අද (28දා) දහවල් 12.00 දක්වා කාලය තුළදී සියලු කාර්යාල කටයුතුවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්ද දියත් කරන බවත්, මෙහිදී බිල්පත් නිකුත් කිරීම්, බිල්පත්වලට මුදල් අය කරගැනීම් ඇතුළු සියලුම පාරිභෝගික කටයුතුවලින් ඉවත්ව රටපුරා කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන බවත් සම කැඳවුම්කරු සඳහන් කළේය.