පසුගිය වකවානුවේ ජාතීන් අතර සහෝදරත්වය තහවුරු කිරීමට අප කළ දැවැන්ත කැප කිරීම අසල්වැසියාට ප්‍රේම කරන්න යෑයි ඡේසු සමිඳුන් දෙසූ දහමට අනුකූල වන්නක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය නත්තල් පණිවුඩයෙන් කියා සිටී.
එම නත්තල් පණිවුඩයේ මෙසේද සඳහන් වේ.
ඡේසු සමිඳුන්ගේ උපත සමරන මේ නත්තල ශ්‍රී ලාංකිකයන් සේම ලෝ වැසි සැමට අසිරිමත් නත්තලක් වේවා· යි මම ප්‍රාර්ථනා කරමි. නත්තල සැමරීමෙන් අදහස් කරනුයේ සාමයේත්, දයාවේත් පණිවුඩය හදවත් තුළ තහවුරුකිරීමය. විශේෂයෙන් දිළින්දන් වෙත කරුණාවත්, දයාවත් සියලු ජාතීන් අතර සාමයත් පැතිරවීම නත්තල සැමරීමෙන් සිදුවිය යුතුය. පසුගිය වකවානුවේ ජාතීන් අතර සහෝදරත්වය තහවුරු කිරීමට අප කළ අති දැවැන්ත කැප කිරීම ‘අසල්වැසියාට ප්‍රේම කරන්න’ යෑයි ඡේසු සමිඳුන් දෙසූ දහමට ද අනුකූල වන්නකි.
“ඡේසු සමිඳුන් දේශනා කළේ මාගේ නාමයෙන් දරුවකු පිළිගන්නා තැනැත්තා මා පිළිගන්නේය’ යනුවෙනි. ඡේසු සමිඳුන් උපත ලැබූ මොහොතේ තරු එළියෙන් මග සොයමින් උන්වහන්සේ පිදීම සඳහා රජවරුන් තිදෙනකු පැමිණි පුවත කිතුණු ඉතිහාසයේ සඳහන් ය. එසේම මෙම නත්තලේදී ද සතුටේ සොම්නසේ පණිවුඩය කුඩා දරුවන්ගේ හදවත් වෙත අප ළං කළ යුතුය. නත්තල සමරා ඡේසු සමිඳුන්ගේ සාමය, දයාව වෙත අපට ළංවිය හැක්‌කේ එසේ කිරීමෙනි.
ඔබ සැමට සාමය, සතුට, සොම්නස සපිරි සුබ නත්තලක් වේවා· යි මම ප්‍රාර්ථනා කරමි.







