කවර ආගමක, දර්ශනයක වුවද හරය පදනම්ව ඇත්තේ මිනිසාගේ යහපත සහ යහගුණය අරමුණු කර ගනිමින් යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදට (25 වැනිදාට) යෙදෙන නත්තල් උත්සවය නිමිත්තෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
අතීත මානවයා ශිෂ්ටාචාරය කරා එන ගමනේදී, ඔහුට යා යුතු මග කියාදුන් නැකැත් තරු බවට පත් වූයේ ආගමික ශාස්‌තෘන් වහන්සේලාය. කවර ආගමක, දර්ශනයක වුවද හරය පදනම්ව ඇත්තේ මිනිසාගේ යහපත සහ යහගුණය අරමුණු කර ගනිමිනි. වසර දහස් ගණනක් මුළුල්ලේ ජනසමාජයක් අතර බහුමානයට පාත්‍රවෙමින් ජනතාවගෙන් පිදුම් ලබමින් එවන් ආගම් තිරසරව පවතින්නේ සමාජ ප්‍රගමනයට දායක වීමේ මහානිශංස ගුණ මහිමය විදහා දක්‌වමිනි.
දිළිඳු ගවලෙනක පීඩිතයන්ගේ ඇසුරේ උපත ලද යේසුස් වහන්සේ දුකෙන් ඉපිද, දුක අත්විඳ ජීවිතය ගැඹුරින් හැදෑරූ ආගමික නායකයෙකු ලෙසින් ලොව අප්‍රමාණ බැතිමතුන්ගේ භක්‌තියට හා වන්දනාවට පාත්‍ර වන්නේ මනුෂ්‍යත්වය විෂයෙහි උන්වහන්සේ තුළ පැවැති පුළුල් දැක්‌ම නිසාය.
එවැනි උතුමෝ නිසැක ලෙසම මනුෂ්‍යත්වය අතික්‍රමණය කරති. යහපත සාධනයෙහිලා ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වන්නා වූ එවන් ජීවිත මිනිසා මිහිපිට වෙසෙන තුරු ඔවුනට, මිනිස්‌කමේ අසීමිත ගැඹුර ද, එහි පරමාදර්ශී ගුණාංග ද කියාදෙනු ලැබේ.
අසල්වැසියන් සහ අවශේෂ සමාජය කෙරෙහි ප්‍රේමය ද, අෙන්‍යාaන්‍ය ලබැඳියාව ද සහජීවනයෙන් ප්‍රභාමත් කරනු ලබන සංහිඳියාව ද අප නත්තල තුළින් දකින විශ්ව ලකුණ වේ. එය කවර රටක් වුවද, කවර ජාතිකයක් වුවද, අගය කළ යුතු වඩවඩාත් පෝෂණය කළ යුතු සාර්වත්‍රික මෙන්ම සර්වකාලීන සාධනීය ගුණාංගයකි. එම ගුණය සාක්‍ෂාත් කර ගන්නා ප්‍රමාණයට සාපේෂව ලෝකය පුරා ගිනි අවි නිහඬ වනු ඇති අතර සාමයේ සිසිලස හැම හදවතකම ලැගුම් ගනු ඇත.
එවන් උත්තරීතර සමාජයක සිහිනය සැබෑ කරමින් මියුරු රිදී සීනු නාදය මෙවර නත්තලෙහි හැම නිවහනකම රැව් නැගේවා.







