FAST NEWS

24×7 Around the Globe

රක්නා ලංකා විමර්ශන කටයුතු අවසන් අදියරේ.

රක්නා ලංකා සමාගමේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවන්ට අදාළ විමර්ශන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම පවසයි.

එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේ සියයට 80ක් පමණ එම විමර්ශන කටයුතු අවසන් කර ඇති බවයි.

මෙම සිද්ධියට අදාළව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ද ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත අතර එය ලබන ජනවාරි මස 03 වනදායින් පසුව සිදුකරන බව ජනාධිපති කොමිසම පැවසුවේය.

නිශ්ශංක සේනාධිපති මහතාට අදාළ ප්‍රකාශ සහ සාක්ෂි ලබාදීම සඳහා මීට අවස්ථා කිහිපයකදී බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවීම් කර තිබුණි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ‍ජනවාරි මස 03වැනිදා දක්වා කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බවට නිශ්ශංක සේනාධිපති මහතාගේ නිතීඥවරුන් දැනුම් දී ඇති අතර ඊට අදාළ වෛද්‍ය වාර්තා කොමිසම වෙත ඉදිරිපත් කර ඇති බව ලැසිල් ද සිල්වා මහතා කියා සිටියේය.

ඒ අනුව ජනවාරි මස 03 වනදාට පසුව අදාළ විමර්ශනය සඳහා නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව ඔහු සඳහන් කළේය.