FAST NEWS

24×7 Around the Globe

රජයේ මහා නගර සැලැස්ම ජනවාරි 08-ජනපති

තමාගේ ජනපති පදවි ප්‍රාප්තියට වසරක් සම්පූර්ණ වන අවස්ථාවේ වත්මන් රජයේ මහා නගර සැලැස්ම ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (21දා) පැවසීය.

ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමග සාකච්ඡා කළ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
කොළඹ මහ නගර සභාවේ සේවක මඬුල්ලට උපහාර පිදීම සඳහා නගර සභා පරිශ්‍රයේ පැවැති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් දැක්වීය.
“බෙහෙවින් සංවර්ධනය වන රටකට නගරයේ පරිවර්තනයක් සිදුවීම අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි අලුත් ආණ්ඩුව විදියට අලුත් අමාත්‍යාංශයක් ඇති කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, කථානායකතුමාත් ඇතුළුව අපි සාකච්ඡා කරලා මහා නගර සංවර්ධනයට මෙම අමාත්‍යාංශය අපි ආරම්භ කළා. ලෝකයේ වේගයෙන් දියුණු වන නගර සමග සම තත්ත්වයේ යන්නට, එම රටවල් පසු කරන්නට අපි වහ වහා සූදානම් විය යුතුයි. අපි තරගකාරීත්වයට මුහුණදිය යුතු වෙනවා. එය ජය ගතයුතු වෙනවා. මා ජනාධිපති ධුරයට පත්වෙලා වසරක් සපිරෙන ජනවාරි 08 වැනිදා අපි මහා නගර සැලැස්ම ක්‍රියාත්මක කරනවා. මා මිත්‍ර චම්පික රණවක ඇමතිතුමාත්, අගමැතිතුමාත් එක්ව සාකච්ඡා කර එය ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.