FAST NEWS

24×7 Around the Globe

උතුරු මහ ඇමති විග්නේස්වරන් අලුත් පෙරමුණක් පිහිටුවාගනී.

දෙමළ අයිතිවාසිකම් දිනා ගැනීම අරමුණු කොටගෙන දෙමළ දේශපාලකයන් සහ බහුජන සංවිධාන සාමාජිකයන් ගෙන් සැදුම් ලත් නව සංවිධානයක් උතුරේ පිහිටුවාගෙන තිබේ.

උතුරේ මහ ඇමැති කනගසබාපති විශ්වලිංගම් විග්නේස්වරන් මහතාගේ නායකත්වයෙන් 19 සෙනසුරාදා යාපනය මහජන පුස්තකාලයේ රැස්වී දෙමළ ජනතා සභාව නමින් පිහිටුවා ගන්නා ලද සංවිධානයේ සම සභාපතිවරුන් ලෙස පත් කරගෙන ඇත්තේ යාපනය රෝහලේ දොස්තර පූපාලන් ලක්ෂ්මන් සහ මඩකලපුව පුරවැසි සමාජයේ ලේකම් ටී වසන්තරාජා යි.

දෙමළ ජාතික සන්ධානයට විකල්පයක් සේ පෙනී යන  දෙමළ ජනතා සභාවේ ක්‍රියාකාරී මණ්ඩලයට උතුරු නැගෙනහිර ආගමික නායකයන්, බුද්ධිමතුන්, කෘෂිකාර්මිකයන්, ව්‍යවසායකයන් සහ ධීවරයන් ට අමතරව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාත්ථන් මන්ත්‍රීවරයා,  ඊපීආර්එල්එෆ් සංවිධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු මන්ත්‍රීවරයා සහ දෙජාස වෙතින් වෙන්වී පිහිටුවා ගනු ලැබූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ද ඇතුලත් වෙයි.

කෙසේ වෙතත් මහ ඇමැති විග්නේස්වරන් මහතා ප්‍රකාශ කොට තිබුනේ නව සභාව දේශපාලන පක්ෂයක් නොවන බවයි.