FAST NEWS

24×7 Around the Globe

රට පුරා බැංකු 20ක සේවක සේවිකාවන් වර්ජනයේ.

රට පුරා බැංකු 20ක සේවක සේවිකාවන් තිස් දහසක් අද (15) වැඩවර්ජනය කරන බව ලංකා බැංකු සේවක සංගමය පවසනවා. මේ නිසා බැංකු කටයුතු අඩාල වී ගනුදෙනුකරුවන්ට අපහසුතා ද ඇති විය හැකි බවයි එහි විධායක සභික කේෂර කෝට්ටේගොඩ මහතා වෙත කියා සිටියේ.

ලංකා බැංකු සේවක සංගමය මෙම වැඩවර්ජනය සිදුකරන්නේ 2016 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින්. අද (15) දිනයේ වැඩවර්ජනය කිරීමට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ මෙහෙයවීමෙන් තවත් වෘත්තීය සමිති ගණනාවක් ද සූදානමින් සිටියා. කෙසේ වෙතත් ඊයේ (14) පස්වරුවේ පැවැත් වූ සාකච්ඡාවකදී ඔවුන් තීරණය කළේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප‍්‍රකාශය සැලකිල්ලට ගෙන වැඩවර්ජනය අත්හිටුවීමටයි. රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා ඒ බව මාධ්‍ය වෙත දැනුම් දුන්නා.

සෙසු වෘත්තීය සමිති මෙලෙස වැඩවර්ජනයෙන් ඉවත් වද්දී ලංකා බැංකු සේවක සංගමය පමණක් තවදුරටත් වැඩවර්ජනය කරන්නේ මන්දැයි අසු විට ඊට පිළිතුරු දුන් එම සංගමයේ විධායක සභික කේෂර කෝට්ටෙගොඩ මහතා මෙසේ පැවසුවා.

“වර්ජනයෙන් ඉවත්වීම ඒ ඒ සංගම්වල හැකියාව මත සහ ඒ සංගම් ඔවුන්ට ලැබුනයි පවසන මේ අගමැතිවරයාගේ ප්‍රකාශ මත ගනු ලබන තීන්දුවක්. නමුත් අගමැතිවරයාගේ ප්‍රකාශයන් තුළ බැංකු සේවක සංගමය මේ ජනතා අහිතකර අයවැයේ තියන දේශීය බැංකු පද්ධතියේ ගණුදෙනුකරුවන් සහ බැංකු පද්ධතිය විනාශ කරන නිශ්චිත කාරනා සම්බන්ධව කිසිදු පිළිගත හැකි ප්‍රකාශයක් හෝ ඒ කරපු ප්‍රකාශයේ ගතයුක්තක් නැහැ.අන්න ඒක පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරපු ලංකා බැංකු සේවක සංගමය තමයි තීන්දු කරේ මේ වර්ජනය අඛන්ඩව ඉදිරියට ගෙනියනවා කියලා”.

ලංකා බැංකු සේවක සංගමය මෙසේ ප‍්‍රකාශ කළ ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (14) ප‍්‍රකාශයේදී බැංකු ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් කෙරුණා. අග‍්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ බැංකුවලට අගතිදායක කිසිදු තීරණයක් කි‍්‍රයාත්මක නොකරන බවයි.

ගනුදෙනුකරුවන් බැංකුවලින් තැන්පතු මුදල් ආපසු ගැනීමේදී බද්දක් අය කිරීමට අයවැයෙන් කෙරුණු යෝජනාව සම්බන්ධයෙන් ද යළි සලකා බැලීමට සූදානම් බව අග‍්‍රාමාත්‍යවරයා සිය කතාවේදී ප‍්‍රකාශ කළා.

මේ අතර ලංකා බැංකු සේවක සංගමය අද සිදුකිරීමට නියමිත වැඩවර්ජනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය ඊයේ වාරණ නියෝගයක් නිකුත් කළා.
ඒ, මෙම වැඩවර්ජනය සඳහා බැංකු සේවකයින් බලහත්කාරයෙන් සහභාගි කරවා ගැනීම වළක්වාලමින්.